2021 ජුලි 10 වන සෙනසුරාදා

සියලුම කොරෝනාවලට සර්වලෝක එන්නතක්!

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 446

| සුගත් පී. කුලතුංගආරච්චි

කොවිඩ් 19 ඇතුළු සියලුම කොරෝනා රෝග මර්දනය කිරිමට සමත් සර්වලෝක එන්නතක් නිපදවීමට අමෙරිකාවේ ඩියුක් සරසවියේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව තිබේ. සාර්වත්‍ර කොරෝනා එන්නත - pan-coronavirus vaccine, ලෙස නම් කර ඇති මේ නව එන්නත මගින් දැනට ඇති එන්නත්වලින් සිදුකෙරෙනවාට වඩා ප්‍රතිදේහ අධික ප්‍රමාණයක්   නිපදවීමට  සමත් බවත් එය සියයට 100ක්ම කොවිඩ්19 රෝගය වැළැක්වීමට සමත් වූවක් බවත් තහවුරු වී ඇත. එසේම මේ එන්නත විවිධ විපරීතයන්ට ලක්වෙමින් අලුත්වෙන කොවිඩ් නව මාදිලි මඬින්නටද සහමුලින්ම සමත් බව මේ විශ්ව කර්ම සොයා ගැනීමේ  ප්‍රධාන පර්යේෂණ විද්‍යාඥ වෛද්‍ය බාර්ටන් එෆ්. හෙයින්ස් කියා තිබේ. මෙහි යොදා ‌ෙගන ඇත්තේ නැනෝඅංශු මත රැඳවූ වෛරස ප්‍රෝටීන කොටස්ය.

මේ නව එන්නත මඟින් කොවිඩ්19 (SARS-CoV-2) කොරෝනා වෛරස රෝගය පමණක් නොව සාර්ස් (SARS-CoV-1), මර්ස් (MERS-CoV) වැනි අප දැනට දන්නා වෙනත් කොරෝනා වෛරස රෝග සඳහාත්, ඉදිරියේදී වවුලන්, වඳුරන් වැනි සතුන් තුළින් අපේ ශරීරගතව අපට වසංගත ලෙඩ සෑදීමට හැකි වෙනත් කොරෝනා වෛරස සියල්ලටමත් එරෙහිව ප්‍රතිශක්තියක් හටගන්වන බව මූලික පර්යේෂණ මගින් සනාථ වී හමාරය.