2021 ජුලි 03 වන සෙනසුරාදා

මුදල් ඇමැති ගැටලුව විසඳෙයි

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:01 312

දේශපාලන වාර්තාකරු |

ලබන අටවැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පත් කෙරෙනු ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ඔහුගේ විෂය පථය ලෙස සඳහන් වන්නේ මුදල් සහ ආර්ථික සංවර්ධන කටයුතු බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

මෙතෙත් මුදල් අමාත්‍ය පදවිය දැරෑ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවාස නාගරික සංවර්ධන, බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇතැයි සඳහන් වෙයි. මෙයට පෙර ලැබුණු වාර්තාවල සඳහන් වූයේ බැසිල් රාජපක්ෂ මහතා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරය ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟත්වය ලබාදීමෙන් පසු මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි සඳහන්ය.

රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පත්වීම සඳහා යෝජිත මන්ත්‍රීවරයා ලබන 06දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයිද දැනගන්නට ඇත. ඔහු ජාතික ලැයිස්තු මන්ත්‍රීන් ෆලීල් මර්ජාන් විය හැකි බව පොහොට්ටුවේ ආරංචිමාර්ග සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දීමට පෙර මෙම සති අන්තයේදී ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

මෙම හමුවේදී මුදල් ඇමැති ලෙස බැසිල් රාජපක්ෂ මහතාට හිමිවන විෂය කාර්යයන් පිළිබඳ අවසන් තීන්දුවකට එළඹෙනු ඇති බවද වාර්තා වෙයි. අප වෙත ලැබෙන තහවුරු නොකළ වාර්තාවල සඳහන් වන්නේ ඔහුට පෝට්සිටි කොමිසම ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු ආර්ථික සංවර්ධනයෙහිලා වැදගත් වන ආයතන රැසක් පැවරෙනු ඇති බවය.