2021 ජුනි 26 වන සෙනසුරාදා

රජය විවේචනය කරන්නන් සතුටු කිරීමට ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ - ජනාධිපති ජාතිය අමතා කියයි

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:02 56

| විශේෂ වාර්තාකරුවකු විසිනි

තම පෞද්ගලික අවශ්‍යතා ඉටු නොවීම නිසා රජය සමග අමනාපව රජය විවේචනය කරන්නන් සතුටු කිරීම සඳහා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට සූදානම් නැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. තමන්ගේ අරමුණ ජනපතිවරණයේදී පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීම බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අතීතයේ සිදුවූ වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යාමට අවස්ථාවක් උදාවී තිබේ. රටට සෞභාග්‍යය උදාකරගත හැක්කේ නිසි සැලසුමක් ඇතිව වෙහෙස වී වැඩ කළහොත් පමණි. ලංකාවේ ඉතිහාසය ලියන විට දැන් අප ගතකරන කාලය කොතරම් දුෂ්කරද යන්න සඳහන් වනු ඇත. නමුත් ඒ දුෂ්කරතා මැද අප සාර්ථකව ඉදිරියට යනවාද නැත්ද යන්න තීරණය කිරීමේ වගකීම ඇත්තේ ඔබ අප අත බවද ජනාධිපතිවරයා කීය.

ගත වූ වසර එකහමාරක කාලය තුළ කොරෝනා වසංගතය මර්දනයට ක්‍රියාකළ ආකාරය සහ එල්ල වූ අභියෝග ගැන විස්තර කළ ජනාධිපතිවරයා රජයේ අනාගත සංවර්ධන සැලසුමේ ප්‍රමුඛතා ගැනද සඳහන් කළේය. දුෂ්කරතා මධ්‍යයේත් ජනතාවට සහන ලබාදීම ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම දේශීය කර්මාන්ත නගා සිටුවීම ගැන ගත් සාධනීය පියවරද විස්තර කළේය. කාබනික වගාව දිරිමත් කිරීම සඳහා සෞඛ්‍ය හේතූන්ද සැලකිල්ලට ගෙන රසායන පොහොර ආනයන තහනම පැනවූ බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා කාබනික වගාවෙන් කරනු ලබන නිෂ්පාදනවලට ලොව විශාල ඉල්ලුමක් ඇති බැවින් එය දිරිමත් කළ බවද පැවසීය.

රටේ සියලු සංවර්ධන ක්ෂේත්‍ර ආවරණය කරමින් කරුණු දැක්වූ ජනාධිපතිවරයා රජයේ සාර්ථක ඉදිරි ගමනට ජනතා සහාය පැතීය.