2021 ජුනි 26 වන සෙනසුරාදා

ලොව සෑම මරණ 100කින් 1ක් ම දිවිනසා ගැනීමක්

 2021 ජුනි 26 වන සෙනසුරාදා, ප.ව. 04:00 62

I සුගත් පී. කුලතුංගආරච්චි

ලෝකයේ මේ වනවිට සිදුවන සෑම මරණ 100කින් 1කටම හේතුව සියදිවි හානිකර ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක් කියයි. යුද්ධ, ඝාතන හෝ දරුණුම රෝග වන ඒඩ්ස්, මැලේරියා හෝ පියයුරු පිළිකා මගින් මියයන ප්‍රමාණයට වඩා අධික පිරිසක් සෑම වසරකදීම සියදිවි නසා ගැනීම හේතුවෙන් මියයන බව එය පෙන්වා දෙයි. ඒ අනුව 2019දී ලක්ෂ 7කට වැඩි පිරිසක් සියදිවි හානිකර ගෙන ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් මතුව ඇති සමාජ-ආර්ථික අර්බුදකාරී තත්ත්වයද මේ සඳහා දැඩි ලෙස බලපා ඇති බව ඔවුහු කියති. බහුතරයකට රැකියා සහ ආදායම් මාර්ග අහිමිවීම, ආර්ථික අඟහිඟකම් මෙන්ම සමාජයෙන් වෙන්වී වැඩි කාලයක් තනිව විසීමට සිදුවීම මෙයට දැඩි ලෙස බලපා ඇති බව වාර්තාව පෙන්වා දෙයි.

එම වාර්තාවට අනුව ලෝකයේ කාන්තාවන්ට වඩා දෙගුණයක් පිරිමින් දිවිනසා ගැනීමට පෙළඹෙන අතර ඔවුන් වැඩි ප්‍රමාණයක් පොහොසත් රටවලින් වාර්තාවීම විශේෂයකි. කාන්තාවන් සියදිවි නසාගැනීම වැඩියෙන්ම වාර්තා වී ඇත්තේ දුප්පත් රටවලිනි. ලෝකයේ සිය දිවි නසා ගැනීම වැඩිම කලාපය අප්‍රිකාව වන අතර යුරෝපය සහ ආසියා කලාපය  පිළිවෙළින් දෙවැනි සහ තුන්වැනි ස්ථානය ගෙන තිබේ. සියදිවි නසාගැනීම් අඩුම කලාපය ලෙස නැගෙනහිර මධ්‍යධරණී රටවල් ආශ්‍රිත කලාපය හඳුනාගන තිබේ. ආවාසනාවන්තම කරැණ වන්නේ සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිත ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මකව ඇත්තේ ලෝකයේ රටවල් අතරින් 38ක පමණක් වීම බව මේ වාර්තාව කියයි.