2021 ජුනි 19 වන සෙනසුරාදා

අවුරුදු 2ක් තිස්සේ ප්‍රතිඵල නැති විභාගයක්

 2021 ජුනි 19 වන සෙනසුරාදා, ප.ව. 04:00 36

I විශේෂ වාර්තාකරුවකු විසිනි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට විභාගයක් පවත්වා වසර දෙකක් යනතෙක් ප්‍රතිඵල නිකුත් නොකිරීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් වාර්තා වෙයි.

දෙමව්පියන් ගණනාවක් දේශය වෙත කරන ලද කරුණු දැක්වීම් අනුව 2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි ලක්ෂ තුනකට ආසන්න සිසු සිසුවියන් මුහුණදුන් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) මෙලෙස ප්‍රතිඵල නිකුත් නොකළ විභාගයයි.

මේ ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ මව්පියන් ගණනාවක් සඳහන් කළේ මෙම විභාගය වැරදි තාක්ෂණික උපදෙස් මත ඔන්ලයින් (මාර්ගගත ක්‍රමයට) පවත්වන්නට ගොස් බරපතළ තාක්ෂණික දෝෂයක් හටගෙන ප්‍රශ්න පත්‍ර හා පිළිතුරු පත්වලින් කොටසක් මැකී අතුරුදන්ව ඇති බැවින් ප්‍රතිඵල නිකුත් කරගත නොහැකි වී ඇති බවය.

දේශය මේ ගැන විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතාගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ තාක්ෂණික දෝෂ කතාවක් නැති බවත් ප්‍රතිඵල පමාවූයේ කොවිඩ් වසංගතය නිසා බවත්ය. ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කළ හැකිවෙතැයි තමා අපේක්ෂා කරන නමුත් එය සිදුකරන දිනයක් පැවසිය නොහැකි බවද ඔහු කීය.

එහෙත් මේ ගැන චෝදනා කරන මව්පියන් පවසන්නේ විභාග දෙපාර්තමේන්තුව ඉන්පසුව පැවැත්වූ විභාග රුසක ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් කොවිඩ් වසංගත තත්ත්වයට මුවා වී සත්‍යය වසන් කරන බවයි. තවදුරටත් මෙම ප්‍රතිඵල පමා කළොත් ඊට එරෙහිව වහාම අධිකරණයේ නඩු පවරන බවද මව්පියන් ගණනාවක්ම සඳහන් කළහ.