2021 ජුනි 12 වන සෙනසුරාදා

වැඩි මිලට හාල් විකුණන ගබඩා රාජසන්තකයි?

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:01 94

I ව්‍යාපාරික වාර්තාකරු

රජයේ පාලන මිලට සහල් අලෙවි නොකරන සහල් නිෂ්පාදකයන්ගේ වී හා සහල් තොග රාජසන්තක කළ හැකිවන ආකාරයට නව නීතියක් සම්පාදනයට රජයේ ජීවන වියදම් කමිටුව තීන්දු කළේය.

ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සමන්විත රජයේ ජීවන වියදම් කමිටුව ගනු ලැබූ මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට විශේෂ රෙගුලාසි ගැසට් කිරීමටද තීන්දු කෙරිණි. රජය පැනවීමට යන නව විධිවිධාන අනුව මෙරට තිබෙන වී හෝ සහල් මෙට්‍රික් ටොන් සීයකට වඩා ගබඩා කර ඇති සියලුම වී ගබඩා රජයේ ලියාපදිංචි විය යුතුය. ඒවායේ ඇතුළත් තොග පිළිබඳව විධිමත් නිල සංඛ්‍යාලේඛනද රජයට ඉදිරිපත් කළ යුතුය.

එම වී තොගවලින් නිපදවන සහල් රජයේ පාලන මිලට තවදුරටත් අලෙවි නොකළහොත් වී තොග වගා රාජසන්තක කිරීමට හැකිවන ලෙස විධිවිධාන පැනවීමටද තීන්දු කැරිණි. වී ගබඩාවලට අමතරව සහල්, සීනි, බඩඉරිඟු ගබඩාද රජයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය විධිවිධාන ළඟදීම පැනවෙනු ඇති බව මේ ගැන දේශයට කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය. කිරිපිටි, තිරිඟු පිටි, ගෑස්, කුකුළු මස් ආදිය දැනට පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය යටතේ මිල ඉහළ නොදමා පවතින මිලටම අලෙවි කිරීමටද තීන්දු කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.

රජය මෙම තීරණගත්තේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදකයන් සහල්වලින් අධික ලාභ ලබන බවට ලැබුණ පැමිණිලි ගැන කළ විමර්ශනවලින් පසුවය. එම විමර්ශනවලදී නාඩු සහල් කිලෝවකින් වී මෝල් හිමියන් රුපියල් 30/-ක් 40/- අතර ලාභයක්ද, කීරි සම්බා සහල් අලෙවියෙන් කිලෝවකට රුපියල් 70/-කට අධික ලාභයක් ලබන බවද සොයාගෙන ඇතැයි පැවසේ.