2021 ජුනි 12 වන සෙනසුරාදා

කොවිෂිල්ඩ් එන්නතට පෞද්ගලික අංශයෙන් මුදල්

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 30

I දේශපාලන වාර්තාකරු

මේ වනවිට අර්බුදයක් බවට පත්ව ඇති කොවිෂීල්ඩ් එන්නත (ඇස්ට්‍රා සෙනිකා එන්නත) දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් ලක්ෂ 6ක් පෞද්ගලික අංශය විසින් මිලදී ගෙන රජයට පරිත්‍යාග කිරීමට තීන්දු කර ඇති බව තමන්ට දන්වා ඇතැයි මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා දේශයට පැවසීය.

මේ ගැන දේශය කළ විමසුමකට පිළිතුරු දුන් රජයේ එන්නත්කරණ කමිටුවේ ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේ කොවිෂීල්ඩ් එන්නත් ලක්ෂ 6ට අමතරව රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් ලක්ෂ 10ක්ද පෞද්ගලික අංශය මුදල් ගෙවා ලබාගෙන තමන්ගේ කම්හල්වල සේවක සේවිකාවන්ට එන්නත් කිරීමට සැලසුම් කර ඇති බවය.

රාජ්‍ය ඖෂධ සංස්ථාව හා ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ මත ජර්මානු සමාගමකින් මෙම එන්නත් තොග මිලදී ගැනීමට නියමිතය. කොවිෂීල්ඩ් එන්නත් මිලදී ගැනීම පිණිස අවශ්‍ය යුරෝ මිලියන 17 1/2½ක (දාහත් ලක්ෂ පනස්දහසක) මුදල වෙනුවෙන් අවශ්‍ය ණයවර ලිපිද මේ වනවිට විවෘත කර ඇත. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පෞද්ගලික අංශයේ මෙහෙයුමෙන් මෙම එන්නත් වර්ග දෙක ශ්‍රී ලංකාවට ලැබෙන බව ජනාධිපති උපදේශකවරයා මෙන්ම මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද තහවුරු කළේය.