2021 ජුනි 05 වන සෙනසුරාදා

ප්‍රදේශ රැසකට තද වැසි නායයෑම් අනතුරු අඟවයි

 2021 ජුනි 05 වන සෙනසුරාදා, ප.ව. 06:00 14

කුසුම්සිරි විජයවර්ධන l

බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම හා උතුරු පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් සමහර ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් අත්තනගලු ඔය, කළු ගඟ හා කැලණි ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටී.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රදේශයට හා ගාල්ලේ නෙළුවට දෙවැනි මට්ටමේ නායයාම් අවදානමක්ද කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ඉංගිරිය, පාලින්දනුවර හා අගලවත්ත ප්‍රදේශවලට නායයාමේ රතු නිවේදනද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර ඇත.

කෑගල්ල, දෙහිඕවිට, ප්‍රා.ලේ. කොට්ඨාසයටත් රත්නපුර අයගමටත් නායයාමේ දෙවන මට්ටමේ අවදානමක්ද ඇහැලියගොඩ හා කලවාන ප්‍රදේශවලට නායයාමේ වැඩි අවදානමක්ද පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටී.
දැනට බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම පළාත්වලට පවතින අධික වැසි සහිත කාලගුණය ලබන සතිය වනවිට මඳක් අඩුවිය හැකි බව මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක් පැවසුවාය. මේ දිනවල බස්නාහිර හා දකුණ ඇතුළු නිරිතදිග ප්‍රදේශවලට අධික වැසි හටගෙන තිබෙන්නේ නිරිතදිග මෝසම් වර්ෂාව යළිත් සක්‍රීය වී පවතින නිසා බවත් ඇය කීවාය.

ඉහත සඳහන් කළ ප්‍රදේශ හැර රටේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවීමට ඉඩ ඇති බවත් සමහර ප්‍රදේශවල ගිගිරැම් සහිත වැසි හට ගැනීමට ඉඩ තිබෙන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

තාවකාලික තද සුළංද අකුණු අනතුරුද ඇතිවිය හැකි නිසා ජනතාවට ඒ ගැන විමසිල්ලෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යාඥවරිය දැනුම් දෙයි.