ගයාන් ගාල්ලගේ l
පෝර්ට් සිටි පනත පිළිබඳ මැතිසභා විවාදයේ දෙවැනි වර ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ වරදක් සිදුවූ බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු කිහිපදෙනෙක් දේශයට පැවසූහ. ඔවුන් ප්‍රකාශ කළේ දෙවැනි වර ඡන්ද ගණන් කිරීමේදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රී මහතා සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ ඡන්දය නිසිපරිදි ගණනය වී ඇතිදැයි පරීක්ෂණයක් කළයුතු බවය.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ පොහොට්ටුවේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාද කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ මෙහිදී රජයට මැති සබයේ ඡන්ද 150 අහිමි වූ ආකාරය ගැන පරීක්ෂණයක් කරන ලෙසයි. පනත පිළිබද තෙවැනි වර ඡන්ද විමසීමේදී නිසි පරිදි ගණනය සිදුවී ඇති නමුත් දෙවැනි වර ඡන්ද විමසීමේදී රජය සමඟ ඡන්දය දුන් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා තෙවැනි වර ඡන්දය විමසීමේදී සභා ගැබින් ඉවත්ව සිටි නිසා මන්ත්‍රීවරු 149 ක් බවට පත්වූ බව ඔවුහු පවසති. කෙසේ වෙතත් නිසි ලෙස දෙවැනි වර ඡන්දය සිදුවූයේ නම් රජයට ඡන්ද 150 සංඛ්‍යාවක් හෙවත් මැතිසබය 2/3ක බහුතරයක් හිමිවිය යුතු බව ඔව්හු සඳහන් කරති.
මේ පිළිබඳව ඡන්ද ගණනය කිරීම බාරව ක්‍රියාකළ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසානායක මහතාගෙන් දේශය විමසුමක් කළේය. එහිදී මහලේකම්වරයා ප්‍රකාශ කළේ දෙවැනි වර ඡන්ද 148 ක් ලෙසත් තුන්වැනි වර 149 ලෙසත් සටහන් වූ බවය. එම ගැටලුව තම පාර්ශවයෙන්ද නැතිනම් ඡන්දය ප්‍රකාශ කිරීමේදී ඇතිවූ ගැටලුවක්ද යන්න නොදන්නා බවය. යම් හෙයකින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලුවොතින් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන බවද හෙතෙම සඳහන් කර සිටියේය.