2021 මැයි 15 වන සෙනසුරාදා

එන්නත් සංචිතයක්!

 2021 මැයි 15 වන සෙනසුරාදා, ප.ව. 12:00 218

I දේශපාලන වාර්තාකරු

කොරෝනා මර්දනය සඳහා අවශ්‍ය කරන එන්නත් සංචිතයක් ඇතිකිරීමට රජය පියවර ගනිමින් සිටින බව දේශයට වාර්තා වෙයි. රජයේ එන්නත්කරණ කමිටුව සඳහන් කරන ආකාරයට මෙම එන්නත් සංචිතයට එන්නත් මාත්‍රා ලක්ෂ 195ක් ඇතුළත් වෙයි. මෙම සංචිතය සඳහා වැඩිපුරම එකතු කෙරෙන්නේ දැනට 91% ඵලදායීතාවක් ඇතැයි වාර්තා වන රැසියාවේ ස්පුට්නික් එන්නතයි. එයින් මාත්‍රා ලක්ෂ 130ක් මේ වන විටත් රජය ඇණවුම් කර තිබේ.

අමෙරිකාවේ නිෂ්පාදිත සියයට 95%ක ඵලදායීතාවක් ඇති ෆයිසර් එන්නතෙන් මාත්‍රා ලක්ෂ 50ක් ලබාගැනීමට ද අවශ්‍ය ඇණවුම බාර දී ඇතැයි එන්නත්කරණ කමිටුව පවසයි. මේ අතර මුලින්ම මෙරටට ගෙන්වන ලද ඉන්දියාවේ නිෂ්පාදිත 81% ඵලදායීතාවක් ඇති කොවිෂීල්ඩ් (ඇස්ට්‍රාසෙනෙකා) එන්නතෙන් මාත්‍රා ලක්ෂ 15ක්ද ඇණවුම් කර තිබේ. ඒ සියල්ල එක්වූ පසු එන්නත් මාත්‍රා ලක්ෂ 195කි.

මෙයට අමතරව චීනයේ නිෂ්පාදිත 79%ක පමණ ඵලදායීතාවක් සහිත සයිනෝෆාම් එන්නතින් අවශ්‍ය තොග කඩිනමින් ලබාගැනීමට සාකච්ඡා අරඹා ඇත. එහි එන්නත් මාත්‍රා ගණන මෙතෙක් තීන්දු කර නැත.

මෙම එන්නත් සියල්ලට අමතරව ඉන්දියාවෙන්, චීනයෙන්, රුසියාවෙන් හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙතෙක් මෙරටට ගෙන්වන ලද එන්නත් මාත්‍රා දහඅට ලක්ෂ හැත්තෑ නව දහසක් දැනටමත් එන්නත්කරණය සඳහා උපයෝගී කරගෙන තිබේ.