2021 මැයි 08 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් කොම්පෝස්ට් පොහොර?

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 29

I දේශපාලන වාර්තාකරු

රසායනික පොහොර තහනම ක්‍රියාත්මක කිරීමත් සමඟ රට තුළ කිසියම් පොහොර හිඟයක් ඇතිවුවහොත් අවශ්‍ය කරන අතිරේක කොම්පෝස්ට් පොහොර තොග ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා රජය සැලසුම් කර ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව දැනටමත් රජය මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන මූලික තොරතුරු විමසා තිබේ. එරට කොම්පෝස්ට් නිෂ්පාදකයන් සහ ඔවුන්ගේ නිෂ්පාදන, අපනයන, ධාරිතාව ගැන මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ විස්තර අද හෙටම මුදල් අමාත්‍යංශයට සැපයෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි. මෙරට වාර්ෂික පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 12කි.

රසායනික පොහොර තහනමත් සමඟ රටට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ගොවි ජනතාවට ලබාදීමේ වගකීම තමන් භාරගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබිණි. එහෙත් රජයේ සහ රටේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ මෙම තහනම එකවර ක්‍රියාත්මක නොකර පියවරෙන් පියවර ක්‍රියාවට නැංවිය යුතු බවයි.

රසායනික පොහොර ආනයනය සඳහා රජය වසරකට රුපියල් බිලියන 60ක් (කෝටි 6000ක්) පමණ වැයකරන බව මුදල් අමාත්‍යංශය පවසයි.