2021 මැයි 08 වන සෙනසුරාදා

හදිසියේ පොහොර ආනයන තහනමට අපි විරුද්ධයි - තිස්ස අත්තනායක

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 28

චමිඳු නිසල් ද සිල්වා l

රසායනික පොහොර භාවිතය ක්ෂණිකව තහනම් කිරීමට රජය ගත් තීරණයට කිසිසේත්ම එකඟවිය නොහැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා දේශයට පැවසීය.

පොහොර ආනයන තහනම ක්‍රියාත්මක වුවහොත් ලංකාවේ අපනයන ආර්ථිකය කඩා වැටී විශාල ව්‍යසනයක් සිදුවනු ඇති බවද මෙහිදී තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය. තේ රබර් ඇතුළු අපනයන බෝග වගාවන්ට රසායනික පොහොර ආනයන තහනම හේතුවෙන් බලපෑම් එල්ලවීම ඊට හේතුව බව අත්තනායක මහතා පැවසීය. රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතයෙන් මිදීම සැලසුම් සහගතව වසර හත අටක් තුළ කළයුත්තක් බවද එය ක්ෂණික තීරණයක් නොවිය යුතු බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.

ජනතාව වස විසෙන් මුදාගෙන රසායනික පොහොර භාවිතාවට ක්‍රමානුකූලව යොමුවීම සම්බන්ධව සිය විරෝධයක් නොමැති බවද තිස්ස අත්තනායක මහතා පැවසීය. එහෙත් මෙරට කෘෂිකාර්මික භූමිය සහ පරිසරය හුරු වී ඇත්තේ රසායනික පොහොර භාවිතය. එම නිසාවෙන් මෙම වසරේ පොහොර ආනයනය නතර කිරීම හේතුවෙන් ලබන වසරේ අස්වැන්නට විශාල බලපෑමක් එල්ල වී බරපතළ ලෙස ජාතික නිෂ්පාදන කඩාවැටිය හැකි බවද තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසීය.