I චමිඳු නිසල් ද සිල්වා
ආණ්ඩුවේ මූල්‍ය අර්බුදය විසඳා ගැනීම සඳහා රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජය තැත්කරන්නේ නම් එයට තමන් විරුද්ධ වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා දේශයට පැවසීය.
එසේ වුවද රසායනික පොහොර භාවිතය වැළැක්වීම තම සංවිධානයේ මතය බව ඒ මහතා සඳහන් කළේය. එමනිසා කාබනික පොහොරවලට සහ කාබනික වගාවට කිසිවිටෙක විරුද්ධ නොවන බවත් ඊට පක්ෂව කටයුතු කරන බවත් ඔහු පැවසීය. ආණ්ඩුව රසායනික පොහොර භාවිතය තහනම් කරන්නේ නම් ආණ්ඩුව කාබනික පොහොර භාවිතය සම්බන්ධව සැලැස්මක් ඉදිරිපත් කළයුතු යැයි ද කරුණාරත්න මහතා කීය. එසේ නොකර හදිස්සියේම මෙවන් තීරණයක් ගැනීම හරහා ගොවිජනතාව පීඩාවට පත්වන බවද හෙතෙම පැහැදිලි කළේය.
හදිස්සියේම පැමිණි මෙම පුවත හේතුවෙන් වර්තමානයේ උග්‍ර පොහොර හිඟයක් ඇතිවීම මෙන්ම පොහොර මිලද අධික ලෙස ඉහළ යෑමද සිදුව ඇතැයි නාමල් කරුණාරත්න මහතා මෙහිදී පැවසීය. එම නිසා ගොවියන් වික්ෂිප්ත බවට පත් කරන ආණ්ඩුවේ මෙම තීන්දුව සම්බන්ධව තමන්ට ගැටලුවක් ඇතැයිද ඒ මහතා කියා සිටියේය. එසේ වුවද මෙම අදහසට තමන් ඇතුළු පිරිස කිසිවිටක විරුද්ධ නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.