දේශපාලන වාර්තාකරු l
කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම නිසා ඉදිරියේදී අනතුරුදායක තත්ත්වයක් හටගත හැකි බැවින් යෝජිත උත්සව අවලංගු කරන ලෙසත් හැකිතාක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත් කොවිඩ් මර්දන කාර්යසාධක බලකායේ සභාපති යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
පසුගිය සිකුරාදා (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කීවේ රෝගීන් හමුවන සෑම පළාතක්ම ක්ෂණිකව හුදෙකලා කරන බවයි. මෙලෙස කොරෝනා රෝගය වර්ධනය වූයේ අවුරුදු සමයේදී ඇතැම් ජනතාවගේ වැරදි හැසිරීම් නිසා බවද වැඩිදුරටත් සඳහන් කළේය.
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ දැනට මෙරට පැතිර යන නව වෛරස් ප්‍රභේදය වාතයෙනුත් සම්ප්‍රේෂණය වන නිසා මුඛ ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය පුරුදු කෙරෙහි අනිවාර්යයෙන් සැලකිලිමත් විය යුතු බවය. එසේම රෝගය වැළඳෙන 90%ක රෝග ලක්ෂණ පහළ නොවන බවත් නව වෛරස් ප්‍රභේදය තරුණ ප්‍රජාව අතර වේගයෙන් පැතිර යන තත්ත්වයක් තිබෙන බවත් මහාචාර්යවරිය කීවාය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා පවසා සිටියේ මෙරට ජනගහණයෙන් මිලියන 21කින් මිලියන 13ක් සඳහා කොරෝනා එන්නත ලබාදිය යුතු බවය.
දැනට 925,000ක පිරිසකට එන්නත ලබා දී ඇති බවත් තවත් එන්නත් මාත්‍රා 356,000ක් පමණ පිරිසකට දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඉතිරිව ඇති බවත් කීය. සෙසු අයට ලබාදීම සඳහා අවශ්‍ය මාත්‍රා මිලදී ගැනීමට සියලු කටයුතු යොදා ඇති බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා පැවසීය.