2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

පාස්කු ප්‍රහාරය: 59 දෙනකුට මුලින්ම නඩු! මෛත්‍රීට නඩු නැහැ?

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 101

අධිකරණ වාර්තාකරු l

පාස්කු බෝම්බ ප්‍රහාරකයන්ට කඩිනමින් නඩු පැවරීම සඳහා පරීක්ෂණ වාර්තා තුනක් නීති අංශ මගින් අධ්‍යයනය කරමින් සිටින බව පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තු තේරීම් කමිටුවේ වාර්තාව සහ ප්‍රහාරයත් සමඟ සිදුකළ පොලිස් පරීක්ෂණයට අදාළ වාර්තාව මෙලෙස අධ්‍යයනය කරමින් සිටී.

පාස්කු ප්‍රහාර අට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් 59 දෙනකුට එරෙහිව මුලින්ම නඩු පැවරෙයි. ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 12 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ නඩු ගොනු මේ වන විට සකස් කරමින් පවතී.

මෙම නඩු පැවරීමේදී විශේෂත්වයක් වන්නේ ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු නොපැවරීමයි. එයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිවන මුක්තිය බව නීති අංශ පවසයි. මෙම සතියට වසරක් පිරෙන පාස්කු ප්‍රහාරය නිසා පුද්ගලයන් 274 දෙනෙක් මරණයට පත්වූහ. ඒ අය අතර විදේශික ළමුන් 6 දෙනෙක් ඇතුළු විදේශිකයන් පිරිසක් ද වූහ. 500කට අධික පිරිසක් තුවාල ලදහ.