2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

තමිල්නාඩුවේ බල පෙරළියක් සිදුවන ලකුණු

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 41

I දේශපාලන වාර්තාකරු

ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් කළ හැකි දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත ඡන්දයෙන් මෙතෙක් පැවති AIADMK පක්ෂය වෙනුවට DMK පක්ෂය බලයට පත්වනු ඇතැයි ප්‍රධාන පෙළේ ඉන්දීය දේශපාලන සමීක්ෂණ ආයතන ගණනාවක් අනාවැකි පළකර තිබේ.

දැනට එහි පාලන බලය දරන වී. පලනිසාමි මහ ඇමැතිවරයා වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දේශපාලන සන්ධානය නියෝජනය කරයි. ඔහු හිටපු මහ ඇමැතිනී ජයලලිතාට පසුව වාර දෙකක් තමිල්නාඩු මහ ඇමැති පදවිය හෙබැවීය. ඔහු AIADMK පක්ෂය නියෝජනය කරයි.

හිටපු මහ ඇමැතිවරයකු වන එම්. කරුණානිධි විසින් නිර්මාණය කළ DMK පක්ෂයට මෙවර නායකත්වය දුන්නේ කරුණානිධි පුත් එම්.කේ. ස්ටාලින්ය. ඔහු ඉන්දීය කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගතව සිටී. බොහෝවිට අනාගත තමිල්නාඩු මහ ඇමැතිවරයා විය හැක්කේ ස්ටාලින් මහතා බවට දැනට අනාවැකි පළව තිබේ.

කරුණානිධි හා ජයලලිතා යන දේශපාලන නායකයන් දෙදෙනාම නොමැතිව තමිල්නාඩුවේ පැවති මෙම මැතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීම පසුගිය අප්‍රේල් 06දා සිදුවිය. ඡන්ද ප්‍රතිඵල මැයි මස 2දා නිකුත් වීමට නියමිතය. ඡන්ද දායකයන් ලක්ෂ 629ක් මෙවර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දය දුන්හ.