2021 අප්‍රේල් 11 වන ඉරිදා

කැවුම් - කොකිස් කේක් වර්ග ගණන් උස්සයි

 2021 අප්‍රේල් 11 වන ඉරිදා, පෙ.ව. 11:20 97

I යසවර්ධන රුද්රිගූ

සිංහල අලුත් අවුරුද්ද ලැබීමට දින තුනක් ඉතිරිව තිබියදී මේ වනවිට අවුරුදු රසකැවිලිවල මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. නගරයේ මෙන්ම ගමේ වෙළෙඳසල්වලද වෙනදා රුපියල් 40කට මිල වූ මුං කැවුමක මිල රුපියල් 50 දක්වා ඉහළ ගොස් ඇති අතර කොණ්ඩා කැවුම් සහ අතිරසවල මිල රුපියල් 40ක් වී තිබේ.

මෙයට පෙර එම කැවුම් දෙවර්ගය අලෙවි වූයේ රුපියල් 30කටය. වෙනදා රුපියල් 80කට අලෙවි වූ ආස්මී ගෙඩියක මිල රුපියල් 100 දක්වා වැඩි වී ඇති අතර රුපියල් 15ක්වූ කොකිසක් අද වනවිට අලෙවි වන්නේ රුපියල් 20කට හෝ 25කටය. බටර් කේක්, රිබන් කේක් චොකලට් කේක් හා ෆෘට් කේක් කිලෝව රුපියල් 500 – 550කට අලෙවි කරනු දැකගත හැකිවිය. මෙයට පෙර එවැනි කේක් කිලෝව රුපියල් 450ක් විය.

මෙලෙස මිල අධික ලෙස ඉහළ යාමට හේතුව වී ඇත්තේ මෙම කැම වර්ග තැනීමට ගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමය. මේ වනවිට මුංඇට කිලෝව රුපියල් 1000ක්ද උඳුපිටි කිලෝව රුපියල් 1850ක් දක්වාද ඉහළ නැග ඇත. එසේම පොල්තෙල් බෝතලය රුපියල් 600 ඉක්මවා වැඩි වී ඇති අතර මෙයට පෙර පොල්තෙල් බෝතලය මිල වූයේ රුපියල් 350කි. කහ කුඩු ග්‍රෑම් 100 රුපියල් 600 වන අතර කරදමුංගු, කරාබුනැටි ආදියද ග්‍රෑම් 100 කුඩා පැකට්ටුව අලෙවි කරනුයේ රුපියල් 200ටය. මේ සෑම අමුද්‍රව්‍යයක්ම අඩු වැඩි වශයෙන් අවුරුදු කෑම තැනීමට අවශ්‍ය වේ. පැණි බෝතලය රුපියල් 500 දක්වා වැඩි වී ඇත.

බටර්, මාගරින්, රසකාරක, යීස්ට්, පොල්තෙල් ආදී අමුද්‍රව්‍යවල මිල පසුගිය දිනවල අසීමිත ලෙස ඉහළ යාම කේක් මිල ඉහළ යාමට හේතු වී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ. ජයවර්ධන දේශයට පැවසීය.