I දේශපාලන වාර්තාකරු
ශ්‍රී ලංකාවෙන් රටවල් තුනකට පත්කරන ලද මහ කොමසාරිස්වරුන් දෙදෙනකුගේ හා තානාපතිවරයකුගේ නාමයෝජනාව අදාළ රටවල් විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි පළවන වාර්තා සියල්ල අසත්‍ය හා පදනම් විරහිත ඒවා බව විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා දේශයට පැවසීය.
මෙලෙස නම් ප්‍රතික්ෂේප වී ඇතැයි සඳහන් වූයේ ඉන්දියාවට පත්කරන ලද මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ, කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හා සෞදි අරාබියේ තානාපති ලෙස පත්කළ අහමඩ් ඒ. ජවාඩ් යන මහත්වරුන්ගේ නම්ය. මෙයින් මිලින්ද මොරගොඩ මහතාගේ පත්වීම මේ වනවිට ඉන්දියාව අනුමත කර තිබේ. ඔහු ළඟදීම නවදිල්ලිය රාජකාරි අරඹනු ඇති බව විදේශ ලේකම්වරයා කීය. කැනඩාවේ මහ කොමසාරිස් ලෙස නම්කළ එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ පත්වීමට අදාළ ලිපිය මේ වනවිට කැනඩාවට යවා තිබේ. එරටින් ඒ සඳහා ප්‍රතිචාර දක්වනතෙක් ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව විදේශ ලේකම්වරයා සඳහන් කළේය. එසේම සෞදි අරාබියට නම් කළ අහමඩ් ඒ. ජවාඩ් මහතාගේ වයස සම්පූර්ණ වී රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලැබූ නිසා එරට පත්වීම භාරගත නොහැකි වූ බව විදේශ ලේකම්වරයා වැඩිදුරටත් කීය.
ඔහු ශ්‍රී ලංකා විදේශ සේවයේ නිලධරයෙකි. විශ්‍රාමලත් එම නිලධරයා වෙනුවට වෙනත් කෙනෙකු නම් කිරීමට රජය කටයුතු කරමින් සිටින්නේ යැයිද ලේකම්වරයා ප්‍රකාශ කළේය.