2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා

පළාත් සභා ඡන්දය වසර අගට කල්යයි

 2021 අප්‍රේල් 03 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 136

I දේශපාලන වාර්තාකරු

ඉතා ඉක්මනින් පැවැත්වීමට යෝජනා කර තිබූ පළාත් සභා මැතිවරණය මේ වසර අවසානය දක්වා කල්යනු ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. ඡන්දය නව මිශ්‍ර ක්‍රමයට (සමානුපාතිකව මන්ත්‍රීන් 30ක්ද කොට්ඨාස ක්‍රමයට මන්ත්‍රීන් 70වන ලෙස) පැවැත්වීමට කැබිනට්ටුවේදී ඇමැතිවරුන් බහුතරය පක්ෂ වී තිබේ.

එහෙත් ඒ සඳහා නව සීමා නිර්ණයන් කළ යුතුය. දේශය මේ ගැන සීමානිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් කළ විමසුමකට පිළිතුරු දුන් හෙතෙම සඳහන් කළේ නව සීමානිර්ණ වාර්තාවක් සැකසීමට මාස තුනක් පමණ ගතවිය හැකි බවය. එසේම දැනට යෝජිත කොට්ඨාස හා අනුපාත ප්‍රතිශත වෙනස් කරන්නේ නම් එයද සංකීර්ණ කටයුත්තක් බව ඔහු වැඩිදුරටත් කීය.

කෙසේ නමුත් තම කොමිසමට එය නිල වශයෙන් ලිඛිතව (TOR මගින්) පැවරිය යුතු යැයි දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය. තම කොමිසම සකසන වාර්තාව පාර්ලිමේන්තු පනතකින්ද සම්මත කරගත යුතුව තිබේ. අනතුරුව ඡන්දය පැවැත්විය හැකි යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම සියලු නීතිමය අවශ්‍යතා සපුරාගත යුතුව තිබීමත් ඉදිරි අවුරුදු නිවාඩුව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ආදිය නිසාත් පළාත් සභා ඡන්දය මේ වසර මැද පැවැත්වීමේ කිසිදු හැකියාවක් නැතැයි මේ ගැන අප වෙත කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා අවධාරණය කළේය.