2021 මාර්තු 27 වන සෙනසුරාදා

චීන - රුසියා ඉන්දියා එන්නත් තුනක් අද හෙටම ලංකාවට - ලලිත් වීරතුංග

 2021 මාර්තු 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 108

I දේශපාලන වාර්තාකරු

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවට කොරෝනා එන්නත් වර්ග තුනක් ලැබීමට නියමිත බව රජයේ එන්නත්කරණ කමිටුවේ සභාපති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට කිය.

ඒ අනුව අද (ඉරිදා) හෝ හෙට දිනයේ චීනයේ නිෂ්පාදිත “සයිනෝෆාම්” එන්නත් ලක්ෂ 6ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. එම එන්නත් ලක්ෂ 6ම ශ්‍රී ලංකාවට ලැබෙන්නේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙසයි. එම පරිත්‍යාගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් ලක්ෂ 24ක් පමණ වේ.

ඒ සමඟ රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 70ක් මිලට ගැනීම සඳහා රජය ඩොලර් මිලියන 69ක් දැනටමත් වෙන්කර තිබේ. එම එන්නත් ඉදිරි සති කිහිපය තුළ මෙරටට ලැබෙන බව වීරතුංග මහතා පැවසීය.

ඒ අතරතුර මෙතෙක් රට තුළ එන්නත් කළ ඉන්දියාවේ “ඇස්ට්‍රාසෙනෙකා” එන්නතින් තවත් මාත්‍රා ලක්ෂ 5ක් ලබන සතිය වනවිට ශ්‍රී ලංකාවට ලබාදෙන බව ඉන්දීය රජය ප්‍රතිඥා දී තිබේ. එරට එන්නත් අපනයන තහනමක් ක්‍රියාත්මක කළද ශ්‍රී ලංකාවට කළින් පොරොන්දු වූ මෙම එන්නත් තොගය සැපයෙන බව වාර්තා වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර පසුගියදා පැවති දුරකතන සංවාදයේදීත් මේ ගැන සාකච්ඡා කර තිබිණි.

මෙම එන්නත් වර්ග තුන මෙරටට ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ කටයුතු තවදුරටත් වේගවත් කළ හැකි යැයි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් කීය.