2021 මාර්තු 20 වන සෙනසුරාදා

අල - ලූනු - මිරිස් මිල ගණන් හතරැස්

 2021 මාර්තු 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 165

I යසවර්ධන රුද්රිගූ

රජය ඇතැම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම මිලක් නියම කර ඇතත්, බොහෝ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳසල්වල විවිධ ඉහළ මිල ගණන්වලට අලෙවි කරන බව දේශයට වාර්තා වෙයි.

ඇතැම් වෙළෙඳුන් රජය සමඟ අල, ලූනු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමට ගිවිසගත් මිල ගණන්වලට වඩා අඩු මිලට විවෘත වෙළෙඳපොළෙන් මිලට ගත හැකි බව දේශය වෙළෙඳපොළ තුළ කළ සංචාරයකදී අනාවරණය විය. එසේම විවිධ සුපිරි වෙළෙඳසල්වල මෙම ආහාර ද්‍රව්‍ය විවිධ මිල ගණන්වලට අලෙවි කෙරේ. ඇතැම්විට ලක් සතොස වෙළෙඳසල්වල මේවා විකුණන මිලද විවෘත වෙළෙඳපොළේ මිලට වඩා වැඩි බව අපගේ නිරීක්ෂණයට ලක් විය.

නුගේගොඩ ප්‍රදේශයේ එක්තරා සුපිරි වෙළෙඳසලක රැපියල් 119ට අලෙවි කරන දේශීය අර්තාපල් කිලෝව තවත් සුපිරි වෙළෙඳසලක රුපියල් 140ක් වෙයි. වෙනත් සුපිරි වෙළෙඳසලක අලෙවි කරන්නේ කිලෝව රුපියල් 160 බැගිනි. ලක් සතොස වෙළෙඳසල්වල ලංකා අල කිලෝවක මිල රුපියල් 150කි. සුපිරි වෙළෙඳසල්වල රුපියල් 99 බැගින් විකුණන ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 85ට පමණ විවෘත වෙළෙඳපොළෙන් මිලදී ගත හැකිය.

ලංකා රතුලූනු විවෘත වෙළෙඳපොළේ කිලෝව රුපියල් 200ට ආසන්නව අලෙවි වන නමුත් සුපිරි වෙළෙඳසල්වල අලෙවි වන්නේ කිලෝව රුපියල් 375කට හෝ 400කටය.

ඇතැම් සුපිරි වෙළෙඳසල්වල වියළි මිරිස් කිලෝව රුපියල් 1200කට අලෙවි වන අතර නුගේගොඩ එක්තරා සුපිරි වෙළෙඳසලක කිලෝව රුපියල් 585කි. ලංකා සතොස වියළි මිරිස් කිලෝව අලෙවි කරනුයේ රුපියල් 495කටය.

මෙවැනි මිල මට්ටම්වලින් අනාවරණය වන්නේ අපේ රටේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික වෙළෙඳපොළවල මිල නියම කිරීමේ කිසිදු ක්‍රමවේදයක් නොමැති බවය.