I අධිකරණ වාර්තාකරු
ශ්‍රී ලංකා රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අල්ලස් හා දූෂණ විමර්ශන 40ක් පමණ ක්‍රියාත්මක කර ඇතැයි එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
නීති විරෝධී, අයථා වත්කම් රැස් කිරීම සහ දූෂණය යන වරදට අදාළව මෙම විමර්ශන ක්‍රියාත්මකය. ඇතැම් විමර්ශන හමාර කොට දැනටමත් ඒවාට නඩු ගණනාවක් පවරා තිබේ.
මෙලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා ලබා ඇති අයගෙන් අති බහුතරය රේගුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය. මේ අය අතර රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන් හා ජ්‍යෙෂ්ඨතම රේගු නිලධාරීන් රැසක් වන බව අප වෙත කරුණු දැක්වූ ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.
මෙම පැමිණිලි ගැන කෙරෙන විමර්ශනවලදී ලැබෙන සාක්ෂි අනුව කරුණු තහවුරු වන පැමිණිලිවලට සම්බන්ධ රේගු ප්‍රධානීන්ට එරෙහිව නඩු පැවරීමට පෙර ඒ අය ගැන විනය පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසම රේගුවට නියම කරන බවත් එම ප්‍රකාශකයා පැවසීය. එය අල්ලස් පනත යටතේ තම කොමිසමට පැවරී ඇති වගකීමක් බවද ඔහු සඳහන් කළේය.