යසවර්ධන රුද්රිගූ I
ටයිල් වර්ග සහ නානකාමර කට්ටල ඇතුළු උපාංග ආනයනය තහනම් කරමින් මුදල් අමාත්‍යාංශය 2020 අප්‍රේල් මාසයේදී ගැසට් නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් වෙළෙඳපොළේ එම භාණ්ඩවල මිල සියයට 300 දක්වා ඉහළ ගොස් තිබුණි.
ඒ පිළිබඳ යළි සලකා බැලීමෙන් පසු ගැසට් නිවේදනයක් මගින් එම ආනයන තහනම පසුගිය 02දා සිට අහෝසි කළේය.
එහෙත් ඉන්පසු ඉදිරිපත් වූ පාරිභෝගික ඉල්ලීම නිසා පසුගිය 11දා සිට ටයිල් ආනයන තහනම එසේම තිබියදී නානකාමර උපාංග කට්ටල ආනයන තහනම පමණක් කොන්දේසි මත ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස අගමැතිවරයා නියම කර තිබේ.එසේ වුවද ආනයනය කරන උපකරණ මාස තුනක ණය සහන කාලයකට සැපයිය යුතු අතර ගෙවීම්වලට විදේශ විනිමය පාවිච්චි කළ හැක්කේ මාස තුනකට පසුවය. ණයවර ලිපි නිකුත් කළ යුත්තේ එම කොන්දේසියට අදාළව බවට තීරණය කර ඇත.
සෙරමික් උපකරණ ආනයනය කිරීම තහනම් කිරීමට පෙර රුපියල් 14,000ක් මිල වූ කොමෝඩි වැසිකිළි කට්ටලයක මිල රුපියල් 36,000 දක්වා ද මුහුණ සෝදන සෙරමික් බේසම් කට්ටලයක මිල රුපියල් 23,000 සිට 65,500 දක්වා ද ඉහළ නැග තිබුණි. මෙයට හේතු වූයේ ආනයන භාණ්ඩ තහනමෙන් ඇතිවූ හිඟය ආවරණය කිරීමට දේශීය නිෂ්පාදකයන් අපොහොසත් වීම නිසා බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අනාවරණය කරයි. ආනයන තහනම මගින් වාර්ෂිකව රටට අහිමිවන බදු ආදායම රුපියල් බිලියන 12ක් බවද මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.