2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

එන්නත් ලක්ෂ 90ට ආණ්ඩුවෙන් ඩොලර් මිලියන 50ක්

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 22

දේශපාලන වාර්තාකරු I

ලබන සතියේ මෙරටට ගෙන ඒමට නියමිත ඉන්දියාවේ ඇස්ට්‍රා සෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නත් ලක්ෂ 90ක් සඳහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් වෙන් කර තිබේ. ඉන්දියාවෙන් එම එන්නතක් අපට ලැබෙන්නේ ඩොලර් 4ක මිලකටය. එය ප්‍රවාහනය, ගබඩා කර තැබීම ඇතුළු සෙසු වියදම් ද එක් වූ විට එන්නතක වටිනාකම ඩොලර් 5ක් පමණ විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගියදා මුදල් අමාත්‍යාංශයට දැනුම් දීමෙන් පසු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා අදාළ මුදල වෙන් කර ඇත.

මෙම එන්නත් ලක්ෂ 90 මෙරටට ලැබීමෙන් දෙසතියකට පමණ පසු තවත් එන්නත් ලක්ෂ 90ක් ලැබීමට නියමිතය. ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ එන්නත් ණය පහසුකම ලබාගැනීමට රජය දැනටමත් අවශ්‍ය පියවර ගෙන තිබේ.
දැනට කොවිඩ් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නතට අමතරව ඉන්දියාව භාරත් බයෝටෙක් එන්නත ද නිෂ්පාදනය කරයි. එම එන්නත් ලොව රටවල් 14කට ඉන්දියාව විසින් අලෙවි කරන බව එරට ස්වදේශ අමාත්‍ය අමිත් ෂා ප්‍රකාශ කර තිබිණි.