I ව්‍යාපාරික වාර්තාකරු
ඉරාන රජය ශ්‍රී ලංකාවෙන් තේ සහ රබර් ලබාගෙන එහි වටිනාකමට ඉන්ධන සැපයීමට රජයට යෝජනා කර තිබේ. ඉරානයේ කොළඹ සිටින තානාපතිවරයා මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමඟ සාකච්ඡාවක් ද පවත්වා ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති තෙල් පිරිපහදුවෙහි පිරිපහදු කළ හැක්කේ ‘ඉරේනියන් ලයිට්’ නම් ඉරානය නිපදවන බොරතෙල් පමණි. එහෙත් ඉරානයට දැනට පනවා තිබෙන ජාත්‍යන්තර සම්බාධක නිසා ඉරානයට කිසිදු රටකට මුදලට ඉන්ධන අලෙවි කිරීම තහනම්ය. එම නිසා අපේ තේ, රබර් සමඟ ඉන්ධන හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් ඔවුහු යෝජනා කළහ. ඊට සම්බාධකවලින් අවහිරයක් නැත.
ඉරානය වසරකට අමෙරිකානු ඩොලර් කෝටි 200ක තේ මිලදී ගනී. ඒ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ කෙන්යාවෙනි. එසේම වසරකට එරට ඩොලර් කෝටි 200ක රබර් ද ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් මිලට ගනී. ඒ අතර ශ්‍රී ලංකාව වසරකට ඩොලර් කෝටි 200ක පමණ ඉන්ධන මැදපෙරදිගින් මිලට ගනී. 2019 සංඛ්‍යාලේඛන අනුව ශ්‍රී ලංකාව වසරකට රටවල් ගණනාවකින් ඉන්ධන මිලට ගැනීමට සඳහා සම්පූර්ණයෙන්ම ඩොලර් කෝටි 360ක් පමණ වැය කර තිබේ.
ඉරාන රජයේ නව යෝජනාව අනුව ඔවුන්ගෙන් වසරකට ශ්‍රී ලංකාවට අවශ්‍ය ඩොලර් කෝටි 360ක් හෝ ඊට වැඩි වටිනාකමකින් යුත් තෙල් මිලට ගනී නම් ඒ වටිනාකම සඳහා ශ්‍රී ලංකාවෙන් තේ සහ රබර් මිලට ගැනීමට කැමැත්ත පළ කර ඇත. මෙය මුදල් හුවමාරු නොවන භාණ්ඩ හුවමාරු ගිවිසුමකි. එම ගනුදෙනුව සිදු කළ හැකි නම් එය දෙරටටම වාසිදායක ගනුදෙනුවක් බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.