කොටස් වෙළෙඳපොළ වැටීම තාවකාලිකයි
- රාජ්‍ය ඇමැති කබ්රාල්
කොටස් වෙෙළඳපොළේ තාවකාලික පහත වැටීම විපක්ෂයේ සතුටක් වුවත් එය ආර්ථික කඩා වැටීමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශයට පැවසීය.
පසුගියදා කොටස් වෙළඳ පොළ පහත වැටුණත් ඊට පසුදින 3% වර්ධනයක් තිබුණු බව ඒ මහතා කීය. එසේම 2020 වසරේදී හතර වතාවක් කොටස් වෙළඳපොළ කඩාවැටුණත් ආර්ථිකය නිසිලෙස කළමනාකරණය කළ බව හෙතෙම කීය.
තමන් අවුරුදු නවයක් මහ බැංකු අධිපතිවරයා ලෙස සිටියදී විපක්ෂය කොටස් වෙළඳ කඩා වැට්ටවීමට නොයෙකුත් උපක්‍රම යෙදු බවත් ඔවුන්ට කොටස් වෙළඳපොළ සාර්ථක ලෙස පවත්වාගෙන යාම ලොකු වේදනාවක් බවත් අමාත්‍යවරයා පැවසීය.
පුම්බන්න ගිහින් කඩාවැටුණා -
ආචාර්ය හර්ෂ ද සිල්වා
කොටස් වෙළඳපොළ දරුණු ලෙස කඩාවැටුණේ එක්තරා කණ්ඩායමක් විසින් එය පාලනය කර අසීමිත ලෙස පුම්බන්න ගොස් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා දේශයට පැවසීය.
ඒ කණ්ඩායම කවුද යන්න රජය දන්නා බවද හෙතෙම සඳහන් කළේය.
එසේ නොමැතිව කොටස් වෙළඳපොළ කඩාවැටීම පිටුපස විපක්ෂය සිටි බව කීම සහ ඒ කඩාවැටීම ගැන විපක්ෂය සතුටු වන බව කීම විහිළුවක් බවද මන්ත්‍රීවරයා කීය.
ඒ නිසා සාමාන්‍ය වර්ධනයක් නොමැතිව කොටස් වෙළඳපොළ ලෝකයේ වැඩිම ඉහළ යාම ලෙස පෙන්වීමට යාමෙන් මෙවැනි කඩාවැටීම් සිදුවන බවත් එය 2011 සහ 2012 වසරේදීද සිදුවුණු බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.