2021 ජනවාරි 30 වන සෙනසුරාදා

වරායේ සටන වැඩ වර්ජනයකට පෙරළෙන ලකුණු

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 96

I දේශපාලන වාර්තාකරු

වරායේ නැගෙනහිර ජැටියෙන් කොටසක් ඉන්දියාවට පැවරීමට එරෙහිව දැන් ගෙන යන අකුරට වැඩ ව්‍යාපාරය ලබන සතියේ සිට මහා වැඩවර්ජනයක් බවට පත්කරන බව වරාය නැගෙනහිර පර්යන්ත සුරැකීමේ සංවිධානයේ සම කැඳවුම්කරු සංජය කුමාර වැලිගම මහතා දේශයට කීය.

මේ සඳහා දැනට වරායේ සේවය කරන සේවක සේවිකාවන් සියල්ලන්ම පාහේ සම්බන්ධ වන නිසා වරායේ සේවාවන් අඩාල විය හැකි බවද ඔහු කීය.

තම සංවිධානය ආරම්භ කළ නැගෙනහිර ජැටිය සුරැකීමේ සටනට ලබන සතියේ සිට ශ්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජල, විදුලි, ගුරු හා සෙසු වෘත්තීය සමිතිද එක්වන බවට දැනටමත් ප්‍රතිඥා දී තිබෙන බවත් ඒ අනුව මහා වැඩවර්ජනයක් සමඟ රටපුරා කළුකොඩි ව්‍යාපාරයක්ද අරඹන බවත් ඔහු වැඩිදුරටත් කීය.

මෙම ක්‍රියාමාර්ග ගැනීමට පෙර තම වෘත්තීය සංගමය මහානායක හිමිවරුන් මෙන්ම අගමැතිතුමාද මුණගැසී කරුණු දක්වන බව කී වැලිගම මහතා තම සටනට සහාය පළකරන දේශපාලනඥයන් හා කැබිනට් අමාත්‍යවරුන්ද වෙනම දැනුවත් කරන බවද පැවසීය.