2021 ජනවාරි 30 වන සෙනසුරාදා

පිටරට හිරවුණු පිරිස් ගෙන්වාගන්න ප්‍රමුඛතා ලැයිස්තුවක්

 2021 ජනවාරි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I දේශපාලන වාර්තාකරු

කොරෝනා රෝග ව්‍යාප්තිය නිසා තමන්ගේ රැකියා අහිමි වී මෙරටට පැමිණීමට නොහැකිව විදේශවල සිර වී සිටින අයගෙන් කඩිනමින් මෙරටට ගෙන්වා ගත යුතු අය තෝරා ගැනීමට දැනටමත් සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කමල් රත්වත්ත මහතා දේශයට කීය.

මෙලෙස රටවල් 16ක 22,000ක පමණ පිරිසක් සිරවී සිටින බව වාර්තා වෙයි. මේ දක්වා එලෙස රැඳී සිටි අයගෙන් 32,000ක් මෙරටට ගෙන්වාගෙන ඇත. 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව විදේශයන්හි අසරණව සිටින පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහනදායී ගාස්තු ක්‍රමයක් යෝජනා කර ඇත. එය ඔවුන්ගේ අවම ගාස්තුවයි. ඇතැමුන්ගේ ආර්ථික තත්ත්වය සලකා ටිකට්පතෙන් 50%ක සහනයක් සැලසීමට රජය සැලසුම් කර තිබේ.

කෙසේ වෙතත් මේ වන විට විදේශගතව සිටින අයගෙන් ටිකට්පතට මුදල් ගෙවාගත නොහැකිව සිරවී සිටින්නේ පන්දහසක පමණ පිරිසක් යැයි නිල නොවන වාර්තා පෙන්වා දී ඇති බැවින් ඔවුන්ට සහන සලසන බව කමල් රත්වත්ත මහතා වැඩිදුරටත් කීය.