I යසවර්ධන රුද්රිගු
පසුගිය සති අන්තය වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 198 ඉක්මවා පහළ ගොස් තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාත ප්‍රකාශනය අනුව ගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 199.18ක්ද ගැනුම් මිල 194.31ක්ද වී තිබේ.
කොරෝනා වසංගතයේ බලපෑම නිසා රුපියලේ අගය පසුගිය අප්‍රේල් 8දා ඉතිහාසයේ ප්‍රථමවරට රුපියල් 200 සීමාව ඉක්මවා ගිය අතර එය රු 200.46 දක්වා ඉහළ ගොස් තිබුණි. 2020 දෙසැම්බර් මාසයේදී රජය ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ සංචිතවලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 22ක් වෙළෙඳපොළට මුදාහැරීම නිසා, රුපියලේ අගය සියයට 0.5කින් ඉහළ ගියේය.
කෙසේ වුවද රජය දැඩි ලෙස ආනයන පාලන පිළිවෙතක් අනුගමනය කරමින් සිටියදී මෙලෙස රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම නිසා විදේශ ණය ඉහළ ගොස් ජනතාවගේ ජීවන වියදම් ගැටලුව උග්‍රවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ අනතුරු හඟවති.
මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දේශය පුවත්පතට පවසා සිටියේ කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශ ප්‍රේෂණ රටට නොලැබී යාම මෙන්ම විදේශ සංචාරකයන්ගෙන් ලැබෙමින් පැවති ආදායමද විශාල වශයෙන් නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවය. එසේම පසුගිය රජය සමයේ නොගෙවා තිබූ විශාල බිල්පත් සංඛ්‍යාවක් එකවර ගෙවන්නට සිදුවීමද මෙයට හේතුවක් බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා අනාගතයේදී මෙම තත්ත්වය නිවැරදි වී රැපියලේ අගය ඉහළ යනු ඇති බවට විශ්වාසය පළ කළේය.