2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා

ශ්‍රී ලංකාවට කොවිඩ් එන්නතක් - ලලිත් වීරතුංග සාකච්ඡා අරඹයි

 2020 දෙසැම්බර් 26 වන සෙනසුරාදා, පෙ.ව. 06:01 160

I දේශපාලන වාර්තාකරු

කොවිඩ් රෝගය සඳහා යෝජිත එන්නත් තුනක් සම්බන්ධයෙන් ඉන්දියාව, ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය සමඟ සාකච්ඡා ආරම්භ කළ බව එම කටයුත්ත භාර ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට කීය. 

මෙයින් වඩාත් සුදුසු එන්නතක් හෝ දෙකක් සෞඛ්‍ය බලධරයන්ගේ නිර්දේශ මත කඩිනමින් මිලදී ගැනීම රජයේ අරමුණ බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් රජයට මූල්‍ය ආධාර සැපයීමට ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව ඇතුළු ආයතන ගණනාවක් දැනටමත් ඉදිරිපත්ව තිබේ.

සුදුසු එන්නත් තෝරාගත්විට ඒවා විශේෂිත ගුවන් යානා මගින් ප්‍රවාහනය කළ යුතුය. එසේම අධි ශීතාගාරවල තැන්පත් කිරීමද අත්‍යවශ්‍යය.

දැනට ඉන්දියාවේ රසායනාගාර 5ක පමණ විශාල ලෙස නිෂ්පාදනය කෙරෙන බ්‍රිතාන්‍යය නිපදවූ ඔක්ස්පර්ඩ් එන්නත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන වෙනත් එන්නතක් හෝ චීන එන්නත යන එන්නත්වලින් එකක් හෝ දෙකක් මෙරටට වඩාත් පහසුවෙන් ලබාගත හැකිවෙතැයි දැනට කරන ලද සාකච්ඡාවලින් තහවුරු වූ බවද ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් කීය.