2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

එන්නත් විරෝධයක් මවන සමාජජාල රැසක්

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 53

I සුගත් පී. කුලතුංගආරච්චි

මුළු ලෝකයම කොවිඩ් 19න් බේරෙන්නට නව එන්නත් එනතුරු බලා සිටියදී ලක්ෂ 480කට වැඩි පිරිසක් එම එන්නත්වලට එරෙහිව සමාජ ජාලය කළඹමින් සිටිති. නවතම සමීක්ෂණ වාර්තාවකට අනුව නව එන්නත් සහ එම එන්නත් ලබාදීමට එරෙහි මේ ක්‍රියාකාරීත්වය දිනෙන් දිනම ඉහළ යමින් පවතී.

පසුගිය ඔක්තෝබරය වනවිට ෆේස්බුක් මගින් පමණක් මේ විරෝධයට එක්වූ පිරිස ලක්ෂ 310 වැඩිය. යූ ටියුබ් ඔස්සේ ලක්ෂ 170කට වැඩි පිරිසක් එක්ව තිබේ.

සමාජ ජාල ඔස්සේ සිදුවන තොරතුරු වසංගතය Infodemic සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා තිබුණි. එන්නත් සම්බන්ධ නොමග යවන සුළු කාරණා මෙන්ම, එන්නත් වෙනුවට කොඩිඩ් 19 වෙනුවෙන් යොදාගත හැකි විකල්ප සම්බන්ධයෙන්ද මෙම එන්නත් විරෝධී ජාලයට අසත්‍ය තොරතුරු තොග පිටින් එක් කරමින් සිටිති. මේ එන්නත අවසාන ප්‍රතිකර්මය නොවන නිසාත්, මේ වනවිට සාර්ථකත්වය පිළිබඳ නිශ්චිත දත්ත තහවුරු වී නොමැති නිසාත් සමාජජාලය තුළ මහා ජංජාලයක් නිර්මාණය කිරීමට මේ පිරිසට හැකිව තිබේ. ඉහළ ජනප්‍රියත්වයක් පෙන්වන මෙම පිටු සහ නාලිකාවල දැන්වීම් පළකිරීම මගින් සමාජ මාධ්‍යජාල ආයතනද සරු ආදායමක් උපයන බව වාර්තා වේ. නිදසුනක් ලෙස ෆේස්බුක් ආයතනය පමණක් පසුගිය වසර අවසන් කාලය තුළ ඩොලර් බිලියන 70.7ක් උපයා තිබේ. ෆේස්බුක් මේ ආදායමින් වැඩි ප්‍රමාණයක් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ සඳහා පරිත්‍යාග කර තිබීම මෙහි ඇති අපූරුම කරුණයි.