2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා

සහල් කිලෝ ලක්ෂ 100ක් ආවත් මිල ගල්වෙලා!

 2020 දෙසැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 35

I යසවර්ධන රුද්රිගු

උත්සව සමයේදී වී අලෙවි මණ්ඩලය හරහා හාල් කිලෝ ලක්ෂ 100ක් පමණ වෙළෙඳ පොළට යොමුකර ඇති නමුත් තවමත් විවෘත වෙළෙඳ පොළේ සහල් මිල පහළ බැස නැත.

පාලන මිලට විකිණීම සඳහා මේ වනවිට ලංකා සතොස ආයතනයට සහල් කිලෝ ලක්ෂ 70ක්ද සුපිරි වෙළෙඳසල්වලට කිලෝ ලක්ෂ 30ක්ද වශයෙන් රජය සහල් නිකුත් කර තිබේ.

එහෙත් විවෘත වෙළෙඳපොළේ බොහෝ සහල් වර්ගවල මිල කිලෝව රුපියල් 110 ආසන්නයේ පවතී. කීරි සම්බා කිලෝව රුපියල් 150කි. හාල් කිලෝ ලක්ෂ 100ක් නිකුත් කිරීමෙන් තවමත් වෙළෙඳපොළට බලපෑමක් සිදුව නැත්තේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට එම සහල් තොග ප්‍රමාණවත් නොවන බව යැයි වෙළෙඳපොළ නිරීක්ෂකයෝ පවසති.

ලංකා සතොස මෙන්ම සුපිරි වෙළෙඳසල්ද සහල් අලෙවි කිරීමේදී නොයෙක් සීමා පනවා ඇත. ඇතැම් සතොස වෙළෙඳසල් නිකුත් කරන්නේ උපරිම සහල් කිලෝ පහකි. එසේම ඇතැම් සුපිරි වෙළෙඳසල්වල සහල් පාලන මිලට ලබාගැනීම සඳහා පාරිභෝගිකයා යම් ප්‍රමාණයක් වටිනා සෙසු ද්‍රව්‍යද මිලට ගත යුතු යැයි නීතියක් පනවා ඇත. මේ නිසා පාරිභෝගිකයාට අවශ්‍ය තරම් සහල් පාලන මිලට ලබාගත නොහැකිය.

එසේම ඇතැම් රාජ්‍ය අංශයේ වෙළෙඳසල් අලෙවිකරන කීරි සම්බා ප්‍රමිතියෙන් බාල අතර ඒවායේ යම් දුඟඳක් හමන බවද පාරිභෝගිකයෝ පවසති.

මේ පිළිබඳව හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර් යේෂණ නිලධාරී සහ ප්‍රවීණ කෘෂි ආර්ථික විශ්ලේෂක දුමින්ද ප්‍රියදර්ශනගෙන් විමසූ විට ඔහු පැවසුවේ සහල් සීමාකර විකුණන්නේ කූඨ ව්‍යාපාරිකයන් තොග වශයෙන් සහල් මිලට ගෙන වැඩිමිලට අලෙවි කිරීමේ ජාවාරමක නිතර වීමට ඉඩ ඇති බවට සැක පහළ වීම නිසා බවය. එසේම ඔහු පවසන්නේ ඉදිරි උත්සව සමයේදී තවත් සහල් කිලෝ ලක්ෂ 100ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී වෙළෙඳපොළේ සහල් හිඟය සම්පූර්ණයෙන්ම අහෝසි වනු ඇති බවය.