I සුගත් පී. කුලතුංගආරච්චි
කොවිඩ්-19 වසංගතය අතරේම සත්‍ය සහ අසත්‍ය පුවත් ඉවක් බවක් රහිතව වේගවත්ව ගලා යාමේ තොරතුරු වසංගතයකට - “Infodemic”, මුහුණ දීමට ද දැන් සිදුව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසීය.
ලංකාව තුළ කොවිඩ්-19 තවමත් සමාජගතව පැතිර යාමක් නැති අතර හඳුනාගත් ප්‍රධාන පොකුරු හා ඒ සම්බන්ධ ආශ්‍රිතයන් රට පුරා විසිර යාම නිසා විවිධ ප්‍රදේශවලින් ආසාදිත අනු පොකුරු වාර්තා වීම පමණක් සිදුව ඇතැයි ඔහු කියයි. එබඳු තත්ත්වයක් තිබියදී පැතිර යන සමහර පුවත් මගින් වැරදි චිත්‍රයක් නිර්මාණය වී ඇති බවත් එය රෝග වසංගතයටත් එහා ගිය තොරතුරු වසංගතයකට මග පාදා ඇති බවත් ඔහු පෙන්වා දෙයි.
වෛද්‍ය සුදත් සමරවීර මේ අදහස් දැක්වූයේ අමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ලංකාව කොවිඩ් අවදානම ඉහළ රටක් ලෙස නම් කර ඇතැයි පළවූ පුවතක් සම්බන්ධයෙන් “දේශය” කළ විමසීමකදීය.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතය තවමත් නිසි ලෙස පාලනය කර ගැනීමට හැකි වී ඇති බවත් එලෙසටම ඉදිරියේදීත් මේ තත්ත්වය තවදුරටත් පාලනය කර ගැනීමට හැකිවනු ඇති බවටත් ඔහු විශ්වාසය පළ කළේය. මේ වනවිටත් රෝගයෙන් 18,000කට වැඩි පිරිසක් සුවය ලබා ඇති බව ඔහු කියයි. දැන් ක්‍රමයෙන් වාර්තාගත වන රෝගීන් අඩුවෙමින් ඇති අතර වෙනත් රටවල මෙන් රෝගය තවමත් සෞඛ්‍ය අංශයේ පාලනයෙන් ගිලිහී ගොස් නැති බවද ඔහු ප්‍රකාශ කරයි.
එබඳු තත්ත්වයක් යටතේ මේ රට වසංගතයේ දරුණු මට්ටමක පවතින බවට තීරණය කිරීමට සාධක නොමැති බවත් ක්‍රමානුකූලව අත්‍යවශ්‍ය පරීක්ෂාවන් පමණක් සිදු කරමින් නිශ්චිතව රෝගීන් හඳුනා ගනිමින් ප්‍රතිකාර ලබා දෙන අතර ආශ්‍රිතයන් හඳුනා නිරෝධායනයට යොමුකෙරෙන බවත් ඔහු අවධාරණයෙන් පැවසීය.