2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා

කොරෝනා එන්නත ලෝකෙට බෙදන්න ජම්බෝ ජෙට් 8000ක් ඕනෑලු

 2020 දෙසැම්බර් 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 57

I සුගත් පී. කුලතුංගආරච්චි

ලොව කෝටි 780ක් පමණ වූ ජනගහනය සඳහා අවශ්‍ය වන කොව්ඩ් එන්නතේ එක් මාත්‍රාවක් ලොවපුරා බෙදාහැරීම සඳහා පමණක් ජම්බෝ ජෙට් ගුවන් යානා 8000ක යෝධ බලඇනියක් අවශ්‍ය වන බව අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සමාගම (IATA) ප්‍රකාශ කර ඇත.

ඉතිහාසයේ මුල් වතාවට එකම භාණ්ඩ තොගයක් ලොව පුරා බෙදාහැරීමේ යෝධ ගුවන් ප්‍රවාහන මෙහෙයුම් අභියෝගයකට දැන් තමන් මුහුණ දී ඇති බව ඔවුහු පෙන්වා දෙති. මේ වනවිටත් යුරෝපයේ ඖෂධ ප්‍රවාහනයේ විශාලතම මධ්‍යස්ථානය ලෙස සැලකෙන ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන්තොට නව කොවිඩ් එන්නත් ගබඩා කර නොපමාව බෙදාහැරීමේ මෙහෙයුම නිසා කාර්යබහුල තත්ත්වයට පත්ව තිබේ.

මේ වනවිට කොවිඩ්-19 සඳහා සිවිල් ජනතාව එන්නත්කරණයට අවසර ලබා දී ඇති පළමු රට වන එංගලන්තයේ මිලියන 67කට ආසන්න සමස්ත ජනගහනයට අවශ්‍ය එන්නත් මාත්‍රා දෙකකින් සමන්විත තොගය බෙදාහරින්නට පමණක් B777 ජම්බෝ ජෙට් යානා 100ක් පමණ අවශ්‍යව ඇතැයි අන්තර්ජාතික ගුවන් ප්‍රවාහන සමාගම පෙන්වා දෙයි.