2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා

ලොකු පුටුවලට ලොක්කන් තෝරන පාර්ලිමේන්තු සභාව පත්වෙයි!

 2020 ඔක්තෝබර් 31 වන සෙනසුරාදා, පෙ.ව. 05:59 319

දේශපාලන වාර්තාකරු I

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රධානම ආයතනය වන පාර්ලිමේන්තු සභාව සඳහා ඒ ඒ පක්ෂ විසින් සාමාජිකයන් නම්කර ඇතැයි දේශයට වාර්තා වෙයි. 

පසුගිය යහපාලන රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට මෙම ආයතනය ස්ථාපිත කැරිණි. පාර්ලිමේන්තු සභාවේ විශේෂයක් වන්නේ සාමාජිකයන් 5 දෙනකුගෙන් සමන්විත එම ආයතනයට කිසිදු සිවිල් සංවිධාන සාමාජිකයකු ඇතුළත් නොවීමයි.

ඒ අනුව පත් කෙරෙන නව පාර්ලිමේන්තු සභාව සඳහා සාමාජිකයන් නම්කර එවන මෙන් කතානායකවරයා පසුගිය බ්‍රහස්පතින්දා කළ දැනුම්දීම අනුව සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු සභාවට පත්කෙරෙන සාමාජිකයන් මෙසේය.
සභාපති ධුරයට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිල බලයෙන් පත්වෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නියෝජිතයා ලෙස මන්ත්‍රී කබීර් හෂීම් මහතා මේ සඳහා නම්කර ඇත. ඒ අනුව ඉදිරි සතියේ අදාළ පත්වීම් සිදුකෙරේ.

පාර්ලිමේන්තු සභාව පත්වූ පසු රටේ සියලුම උසස් නිලතල සහ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කරන්නේ එමගිනි.