2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

පිටරට සංචාරකයෝ මුල් තෙමසේ ඉහළට මාර්තුවේ පහළට

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 36

මෙම වර්ෂයේ මාර්තුවල ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම 2015 වර්ෂයේ මාර්තුවලට සාපේක්ෂව 188,076 දක්වා සියයට 2.5කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නවතම වාර්තාවෙන් හෙළිවෙයි. 2009 මාර්තු දක්වා සිවිල් යුද්ධය පැවැති කාලයෙන් පසු සිදුවූ දෙවැනි බිඳවැටීම මෙය වේ.

එසේ වුවද වර්ෂයේ මුල් තෙමස තුළ සංචාරක පැමිණීම පසුගිය වසරේ එම කාලය හා සංසන්දනය කිරීමේදී සමස්තයක් වශයෙන් සියයට 3.4කින් වැඩිවී තිබේ. ඒ ප්‍රමාණය 604,953කි. පසුගිය ජනවාරි මාසයේ 6දා සිට කටුනායක ප්‍රධාන ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා දිනකට පැය 8ක් වසා තැබීම හේතුවෙන් සංචාරකයන්ට දීර්ඝ කාලයක් ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදුවීමෙන් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවිය. එසේම එම කාලය තුළ පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා 100කට අධික සංඛ්‍යාවක් අවලංගු කෙරුණි. සංචාරකයන්ගේ පැමිණීම පහළයාමට මෙම තත්ත්වය හේතුවූ බව පැවසේ.

සෞදි අරාබිය, ඉන්දියාව, මාලදිවයින, පකිස්ථානය සහ බටහිර යුරෝපා රටවලින් පැමිණෙන සංචාරක සංඛ්‍යාව මෙම කාලයේ සෑහෙන ලෙස අඩුවූ බව සංචාරක මණ්ඩල දත්ත අනුව පැවසේ.

2016 වසරේදී සංචාරක ආදායම වාර්තා තබමින් 2015ට වඩා සියයට 14කින් වැඩිව තිබුණි. 2015 වසරේ අමෙරිකානු ඩොලර් බිලියන 2.98ක්වූ සංචාරක ආදායම 2016දී බිලියන 3.4 දක්වා ඉහළ ගියේය. සංචාරක ව්‍යාපාරය අපේ රටේ ආර්ථිකයට සියයට 5කින් දායකත්වය දරන බව ශ්‍රී ලංකා මහ බැංකුව අනාවරණය කරයි.

සංවර්ධනයෙන් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය 7දා සිට මහජනයා සඳහා සියලු පහසුකම් සහිතව විවෘත වූ අතර මේ හේතුවෙන් අනාගතයේදී සංචාරකයන් පැමිණීම තවදුරටත් වර්ධනය වනු ඇතැයි ආණ්ඩුව අපේක්ෂා කරයි. 

යසවර්ධන රුද්රිගු l