
සංශෝධිත නව පළාත් පාලන මැතිවරණ ක්‍රමයට අදාළව නිකුත් කරනු ලැබූ මැතිවරණ කොට්ඨාස පිළිබඳ ගැසට් පත්‍රයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් ලැබුණත් මේ වනතෙක් දෙමළ පිටපත ලැබී නොමැති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසයි. මේ පිළිබඳව අප මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ විමසූ විට ඔහු සඳහන් කළේ එය නොලැබී ඇති බවත් ඒ පිළිබඳව පිළිතුරු ලබාදිය හැක්කේ තමාට නොව පළාත් පාලන අමාත්‍යවරයාට හෝ ලේකම්වරයාට බවත් කීය.
ඒ අනුව අප පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගෙන් විමසූ විට ඒ මහතා සඳහන් කර සිටියේ තමන් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම පමණක් සිදුකරන බවත් පරිපාලන කටයුතු සිදුකරන්නේ ලේකම්වරයා බවත් කියාය. කෙසේ වෙතත් මේ පිළිබඳව තමන් ලේකම්වරයාගේ විමසා මැතිවරණ කොමිසම වෙත යොමුකරන බවද හෙතෙම සඳහන් කළේය.
අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතාගෙන් මේ පිළිබඳව විමසීම සඳහා දුරකතනය ඔස්සේ සම්බන්ධ වීමට උත්සාහ ගත්තත් ඒ මහතා සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
I ගයාන් ගාල්ලගේ