2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ශ්‍රී ලංකාවට

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 350

දේශපාලන වාර්තාකරු l

දකුණු ආසියානු රටවල සංචාරයක යෙදෙන අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා මේ මස අවසන් සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ලබන 28දා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එක්දින සංචාරයකට වන අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. ඉන්දියාව, ජපානය සහ ඔස්ට්‍රේලියාවේ සහභාගීත්වයෙන් අමෙරිකානු එක්සත් ජනපදය, ජපානය විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මුලින් ජපානයට පැමිණෙන පොම්පියෝ මහතා එහිදී සාකච්ඡා කරනු ඇත්තේ දකුණු ආසියානු කලාපයේ චීන වෙළෙඳ ආධිපත්‍යය සම්බන්ධව බව විදෙස් මාධ්‍ය කියයි. ජපාන සංචාරයෙන් පසු ඉන්දියාවට පැමිණෙන හෙතෙම නවදිල්ලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

ඔහු මෙරටදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මුණගැසීමටත් ඉහළ පෙළේ අමාත්‍යවරුන් ගණනාවක් හමුවීමටත් නියමිත බව කියැවේ. එහෙත් පොම්පියෝ මහතාගේ නිල වැඩසටහන තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයට පෙර චීන රාජයේ ඉහළම රාජ්‍ය නියෝජිතයකු වන එරට හිටපු විදේශ අමාත්‍ය සංග් ජේ මහතා ප්‍රමුඛ විශේෂ දූත පිරිසක් මෙරටට පැමිණියහ. පොම්පියෝ මහතා පිටත්ව ගිය පසු ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.