2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා

රට පොල් තෙල් බද්ද ඉහළට!

 2020 ඔක්තෝබර් 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

යසවර්ධන රුද්රිගු I

ලබන සතියේ සිට මෙරටට ආනයනය කරන රට පොල් තෙල් කිලෝවක් සඳහා වූ තීරු බද්ද රුපියල් 165කින් ඉහළ නැංවීමට රජය පියවර ගනිමින් සිටින බව දැනගන්නට තිබේ. ආනයනික පොල්තෙල් කිලෝවක් සඳහා මෙතෙක් අයකළ රුපියල් 125 වූ තීරු බද්ද ඒ අනුව රුපියල් 290 දක්වා ඉහළ නගී.

සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය මගින් කරන ලද ඉල්ලීමක් අනුව රජය මෙම පියවර ගැනීමට සූදානම් වේ. මෙරට වාර්ෂික පොල්තෙල් පාරිභෝජනය මෙට්‍රික් ටොන් 17,00000 වන අතර රට තුළ නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 44000කට ආසන්න ප්‍රමාණයකි. ඒ නිසා පොල්තෙල් නිෂ්පාදකයන්ට සහනයක් සැලසීමට යැයි කියමින් පොල්තෙල්වලට ආනයන බදු වැඩි කිරීමෙන් සිදුවන්නේ දැනට රැපියල් 325ක මට්ටමේ ඇති පොල්තෙල් බෝතලයක මිල ඉහළ නැගීම බව පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහි සභාපති රංජිත් විතානගේ පවසන්නේ මෙයින් සිදුවන්නේ පොල්තෙල්වලට වඩා අඩු ආනයනික බද්දක් පාම් තෙල්වලට අයකරන නිසා ඒවා කලවම් කර නිෂ්පාදනය කරන ජාවාරම්කරුවන්ට උඩගෙඩි දීමක් බවය. 

දැනට කලවම් කරන අය සිදුකරන්නේ අපනයනය කරන කොප්පරාවලින් ඉවත් කරන කුරුට්ට පාම් තෙල්වලට මිශ්‍ර කර පොල්තෙල් ලෙස අලෙවි කිරීමය.

රජය මෙලෙස පොල්තෙල්වලට ආනයන බදු වැඩි කළහොත් රට තුළ පොල්තෙල් මිල ඉහළ යන අතර පොල්තෙල් බව කියා අලෙවි කරන ව්‍යාජ පාම්තෙල් ජාවාරම ඉහළ යාම බවද සභාපතිවරයා අනාවරණය කරයි.