දේශපාලන වාර්තාකරු I
පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම සඳහා ළඟදීම පළාත් සභා මැතිවරණ පනතට සංශෝධනයක් සිදුකරනු ඇතැයි ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි. පසුගිය රජය සමයේ පළාත් සභා ඡන්ද කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම සඳහා නීති සම්මත කෙරිණි.
එහෙත් එහි කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් හටගත් ගැටලු නිසා නැවතත් සීමා නිර්ණය සමාලෝචනයට ලක්කැරිණි. ඒ සමඟ පළාත් සභා මැතිවරණ දිගින් දිගටම කල් දමනු ලැබීය.
පළාත් සභා සඳහා මන්ත්‍රීන් තෝරාගැනීමේ ක්‍රමවේදයද දැඩි විවේචනයට ලක්විය. එම සභිකයන්ගෙන් 50% ඡන්දයෙන්ද 50% ලැයිස්තුවෙන්ද තෝරාගත යුතු යැයි යහපාලන රජය සම්මත කරගත් නීතියේ සඳහන්ය. එහෙත් එම ක්‍රමවේදය ගැන වත්මන් රජයේ එකඟතාවක් නැතැයි වාර්තාවෙයි.
මෙම අර්බුදකාරී තත්ත්වය නිසා පළාත් සභා මැතිවරණ දිගටම කල් ගියේය. ඒ නිසා ඇතැම් පළාත් සභාවල මැතිවරණ වසර තුනකට වඩා කල්ගොස් ඇත. මුලින්ම නිල කාලය අවසන් වූ සබරගමුව පළාත් සභාවේ නිල කාලය හමාරවූයේ 2017 සැප්තැම්බර් 26 දාය. 2017 සැප්තැම්බර් 30 නැගෙනහිර පළාතේත්, 2017 ඔක්තෝබර් 01 දා උතුරු මැද පළාතේත් 2018 ඔක්තෝබර් 08දා මධ්‍යම පළාත් සභාවේත් 2018 ඔක්තෝබර් 10දා වයඹ පළාත් සභාවේත් 2018 ඔක්තෝබර් 24 උතුරු පළාත් සභාවේත් ඉන්පසු දකුණ - බස්නාහිර හා ඌව සභාවලත් නිල කාලය හමාර විය. එම සභාවල නිල කාලය හමාර වී මැතිවරණ නොපැවැත්වීම නිසා දැනට පවත්නේ ආණ්ඩුකාර පාලනයකි.
යෝජිත පනත් සංශෝධනය ඉතා ඉක්මණින් සම්මත කර ගැනීමටත් ඉන් අනතුරැව කඩිනමින් පළාත් ඡන්ද පැවැත්වීමටත් රජය අපේක්ෂා කරන බව වාර්තා වෙයි. එහෙත් රජයේම ඇතැම් හවුල්කාර පක්ෂ පැරණි සමානුපාතික ක්‍රමයට අකැමැත්ත ප්‍රකාශ කර ඇතැයිද සඳහන්ය.