දේශපාලන වාර්තාකරු l
මාස අටකට වැඩි කාලයක් පුරප්පාඩුව පැවති ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයට හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ මහතා පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දුකර තිබේ. ඉන්දීය රජයේද පූර්ණ එකඟතාව මත එරට තානපති සම්ප්‍රදාය අනුව කැබිනට් අමාත්‍යවරයකුගේ නිල තත්ත්වය පිරිනමමින් මෙම පත්වීම සිදුකෙරෙනු ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග කියයි.
ආණ්ඩු ගණනාවක් යටතේ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍ය පදවි දැරූ මිලින්ද මොරගොඩ මහතා ජාත්‍යන්තර දේශපාලන කටයුතු පිළිබඳ විශේෂඥයෙකි. ඔහු ජාත්‍යන්තර දේශපාලන කටයුතුවලට සම්බන්ධ බුද්ධි පර්යේෂණ සංවිධානයක් වන පාත් ෆයින්ඩර් ආයතනයේ නිර්මාතෘවරයාය. ඔහුට මෙම තනතුර භාරගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වාර ගණනාවක්ම ආරාධනා කර තිබිණි. අවසානයේ ඔහුගේ එකඟතාව පළවීමෙන් පසු මිලින්ද මොරගොඩ මහතාගේ නම රජයේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට යොමුකර තිබේ. 1943 වසරේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකගෙන් ආරම්භ වූ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවිය මෙරට ජ්‍යෙෂ්ඨතම රාජ්‍ය තාන්ත්‍රික ධුරයකි.
මිලින්ද මොරගොඩ මහතාට අමතරව චෙන්නායිහි නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරයට ආචාර්ය වී.කේ. වල්සන් මහතා පත් කිරීමටද රජය තීරණය කර ඇත. වල්සන් මහතා මෙයට පෙර ස්වීඩනයේ තානාපති ධුරය හා චෙන්නායි නියෝජ්‍ය මහ කොමසාරිස් ධුරය දැරීය.