2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

විදුලිය බිඳවැටීමේ වගකීම මණ්ඩලය බාරගත යුතුයි - චම්පික රණවක

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 176

I දේශපාලන වාර්තාකරු

දිවයින පුරා එකවරම විදුලිය බිඳවැටීමේ වගකීම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සහමුලින්ම බාරගත යුතුයැයි හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයෙක් වූ චම්පික රණවක මහතා දේශයට කීය.

රජය මේ ගැන විධිමත්ව සොයා බලා වහාම වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතු යැයි ද හෙතෙම සඳහන් කළේය. මෙයට පෙර වාර ගණනාවක් මෙලෙසම විදුලිය බිඳවැටුණු අතර වසර 2016 දී සිදුවූ දීපව්‍යාප්ත විදුලිය බිඳවැටීම ගැන විමර්ශනයට පත්කළ කමිටුවේ තමන්ද සාමාජිකයකුව සිටි බව හිටපු අමාත්‍යවරයා කීය. එමගින් ද විදුලිය බිඳවැටීමට වගකිවයුතු නිලධාරීන්ට දඬුවම් කරන ලෙස නිර්දේශ කළ නමුත් එය සිදු නොවූ බව රණවක මහතා පෙන්වා දුන්නේය.

පුත්තලම නොරොච්චෝලේ බලාගාරය නතරවීම, සූර්ය බලශක්ති පද්ධතියේ විදුලිය සම්පාදනය නිසා සිදුවූ බවට ඉදිරිපත් කෙරෙන හේතු තමන් තරයේම ප්‍රතික්ෂේප කරන්නේ යැයිද ඔහු ප්‍රකාශ කළේය.