2020 අගෝස්තු 22 වන සෙනසුරාදා

හිටපු ජනපතිට නියෝජ්‍ය අගමැති තනතුර ඉල්ලයි

 2020 අගෝස්තු 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 537

I ගයාන් ගාල්ලගේ

හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් නියෝජ්‍ය අගමැතිධූරයක් ලබා දෙන ලෙස එම පක්ෂය විසින් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. 
එම නව ධූරය 18 සහ 19 වැනි ව්‍යවස්ථා සංශෝධන අහෝසි කිරීමෙන් අනතුරුව අලුතින් ගෙන එන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කොටසක් ලෙස ඇතුළු කරන ලෙසට යෝජනා කර ඇතැයි නම සඳහන් කිරීමට අකැමැති එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය. එම යෝජනාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය.

දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීන් 15 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති. එයින් දෙදෙනකුට කැබිනට් අමාත්‍ය පදවි හිමි විය. තවත් හතර දෙනකුට රාජ්‍ය ඇමැති පදවිද නියෝජ්‍ය කතානායක හා කාරක සභා නියෝජ්‍ය සභාපති පදවි තවත් දෙදෙනකුට ද හිමිවුණි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තු ස්වාධීන කණ්ඩායමක් ලෙසට අසුන් ගන්නා බවට පැතිර යන කතා අසත්‍ය බවත් රජය සමඟ එක්ව ඉදිරියට යන බවත් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.