I හසිත් අංජන
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිවන සමගි ජන බලවේගය දේශපාලන සන්ධානය සඳුදා (02) උදෑසන 10.00ට නෙළුම් පොකුණ රඟහලේදී ස්ථාපිත කෙරේ. එම අවස්ථාවට සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස සහ එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට ද ඇරයුම් කර ඇත.
එලෙස ඇරයුම් කිරීමට ගිය අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීම හෝ නොපැමිණීම තහවුරු කර නැතත් සන්ධානයේ ව්‍යවස්ථාව තමන්ට පරික්ෂා කිරීමට අවශ්‍ය බව කියා තිබේ.
එහිදී සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත්තේ ඒ විධිමත් ව්‍යවස්ථාවක් සකස් කර ඇති බවත් එය පසුව පරීක්ෂා කළ හැකි බවත්ය.
සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මේ ගැන දේශයට පැවසුවේ සමගි ජන බලවේගය සන්ධානය සඳහා නාමයෝජනා ඉල්ලුම් පත්‍ර බාරගැනීම පසුගිය 27 වැනිදා සිට ආරම්භ කළ බවයි.
සන්ධානයේ හවුල්කාර පක්ෂ නාම යෝජනා සකස් කළද සමගි බලවේගය යටතේ අවසන් වශයෙන් නාම යෝජනා ලබාදෙන්නේ එම සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතාගේ අධීක්ෂණයෙන් පසුව බවද මන්ත්‍රීවරයා මෙහිදී කීය.
මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳව මේ වනතුරු නිශ්චිත තීරණයකට පැමිණ නැතත්, සන්ධානයේ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඒ පිළිබඳ සියලු පක්ෂ සමඟ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.