I හසිත් අංජන
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට බරවාකුඹුක දක්වා වන දෙවැනි අදියර අද (23 වැනි ඉරිදා) විවෘත කෙරේ.
කිලෝමීටර 58ක් දුරැති මෙම මාර්ගය විවෘත කිරීමේ නිල උත්සවය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතරදී පැවැත්වීමට නියමිතය.
මාතර සිට බරවාකුඹුක දක්වා දිවෙන දක්ෂිණ අධිවේගී මාර්ගයට අපරැක්ක, බෙලිඅත්ත, කසාගල, අඟුණකොළපැලැස්ස යන පිවිසුම් මාර්ග හතරක් ඇති අතර කොට්ටාව සිට බරවාකුඹුකට පැයයි විනාඩි හතළිහක් වැනි කාලයකින් ළඟා විය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවසීය.කොට්ටාවේ සිට බරවාකුඹුකට සැහැල්ලු වාහන සඳහා රුපියල් 700ක පමණ මුදලක් ද බර වාහන සඳහා රුපියල් 1400ක මුදලක් සහ මාතර සිට බරවාකුඹුකට රුපියල් 300ක මුදලක් සැහැල්ලු වාහන සඳහා ද රුපියල් 500ක මුදලක් බර වාහන සඳහාද අය කිරීමට නියමිත බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය.