2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

තෙල් මිලට පාලනයක් එයි?

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 43

I යසවර්ධන රුද්රිගු

ඉන්ධන අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත්කර එහි මිල පාලනයක් ඇතිකිරීමේ සැලසුමක් ඇති බව දේශයට වාර්තා වෙයි. එලෙස අත්‍යවශ්‍ය භාණ්ඩයක් කළ විට ගෑස් මෙන් ඉන්ධන මිල ද නියම කිරීමේ බලය පාරිභෝගික සේවා අධිකාරියට ලැබෙන බව ලංකා ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සභාපති කෝසල විදානාරච්චි කියයි. දැනටමත් පෙට්‍රල් ලීටරයකින් තෙල් සංස්ථාව සහ ඉන්දියානු තෙල් සමාගම රුපියල් 70ක පමණ ලාභයක් ලබන අතර ඩීසල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 50 ක් පමණ වේ. එහෙත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය වියදම් හුවා දක්වමින් ඉන්ධන අලෙවියෙන් අඩු ලාභයක් ලබන බව පැවසීම නිසා බොරතෙල් මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබේ.

තම සංගමය ඉන්ධන මිල පාලනයකට යටත් කරන ලෙස පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර එම ඉල්ලීම අනුව අදාළ අංශවල නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු යොදමින් පවතින බව සභාපතිවරයා පවසයි.

පසුගිය සතිය මැද වන විට බොරතෙල් බැරලය අමෙරිකානු ඩොලර් 49.57 දක්වා පහළ බැස තිබූ අතර සතිය මුලදී ඩොලර් 50.32ක්ව පැවතිණි. මෙම මිල අනුව මෙරට වෙළෙඳ මිල ගණනය කරන්නේ නම් ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 15 ක් පමණ අඩුවෙන් ද ඩීසල් ලීටරයක් රුපියල් 10 ක් පමණ අඩුවෙන් ද අලෙවි කළ හැකි බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසයි. චීනයේ ඉන්ධන ඉල්ලුම අඩුවීම නිසා අනාගතයේ දී මිල තවත් පහළ බැසිය හැකි බව ඔහුගේ අදහසය.