ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ එකම ලෙඩාටත් බරපතළ නෑ
සැක සහිත රෝගීන් 16 යි
රෝගයට බෙහෙත් හදන්න අලි බබාගෙන් ඩොලර් ලක්ෂ 145 ක්
වූහාන්හි සිරවූ සිසුන් ශ්‍රී ලංකාවට
සුගත් පී කුලතුංග ආරච්චි l
කොරෝනා රෝගයේ නිජබිම වන චීනයේ පිහිටි වූහාන් වෛරස් විද්‍යායතනය හා මිලිටරි සෞඛ්‍ය විද්‍යා ඇකඩමිය රෝගය බෝවීම වැළැක්වීමට සමත් ඖෂධ තුනක් සිකුරාදා ලෝකයට නිර්දේශ කළේය. එම ඖෂධ තුන පසුගිය කාලයේ “ඉබෝලා”, “මැලේරියාව”, “ඒඩ්ස්” රෝගය මර්දනයට යොදාගත් ඒවාය. දැන් ඒවා වැඩිදුර සායනික පරීක්ෂණ සඳහා ද යොමු කර තිබේ.
ගිය සිකුරාදා වනවිට ගතවූ දින 32ක් තුළ රටවල් 21කට කොරෝනා වෛරසය පැතිර ගියේය. ලොව මහාද්වීප සියල්ලේම යම් යම් මට්ටමින් කොරෝනා රෝගීහු ප්‍රතිකාර ලබමින් සිටිති. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කළේය.
ඉදිරි දෙසතිය තුළ රෝගය පැතිරීමේ උපරිම තත්ත්වයට පත්වනු ඇතැයි චීනයේ පිපල්ස් ඩේලී පුවත්පත සිකුරාදා ප්‍රකාශ කළේ එරට ප්‍රකට වෛරස් විශේෂඥයකු උපුටා දක්වමිණි.
චීනයේ ප්‍රකෝටිපති අලිබබා ව්‍යාපාරික ජැක්මා මෙම රෝගය සඳහා ඖෂධයක් සොයා ගැනීමට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 145ක් තම පෞද්ගලික ධනයෙන් පරිත්‍යාග කළේය.
චීනයේ අධ්‍යනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 800කගෙන් අඩු අවදානම් කාලපයේ සිටි 625ක් පමණ ගිය සිකුරාදා වනවිට මෙරටට ගෙන්වා තිබුණි. තවත් 175ක් පමණ චීනයේ රුඳීසිටියහ. ඔවුන්ගෙන් දැනට වසාදමා ඇති වූහාන්හි අධිඅවදානම් කලපයේ සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් 34 මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය A 330 ගුවන් බසයක් විශේෂයෙන් සූදානම් කර තිබිණි. පසුගිය සිකුරාදා සවස් වනවිට චීන රජයේ බලධරයන්ගෙන් මෙම යානයට වූහාන් වෙත ගමන් කිරීමට අවසර ලැබිණි. ඒ අනුව කපිතාන් රජීන් රණතුංග විසින් පදවන ලද ශ්‍රි ලංකන් ගුවන්යානාව සිකුරාදා සවස වූහාන් වෙත පිටත්විය. එම ගුවන්යානය සිසු සිසුවියන් රැගෙන සෙනසුරාදා උදෑසන කොළඹට පැමිණිමට නියමිත වූ බව වාර්තාවිය. එම සිසු සිසුවියන් 34 දෙනා ශ්‍රී ලංකාවට පැමිණීම ජනාධිපති කාර්යාලයේ අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විසින් ද සනාථ කරන ලදී.
මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන එන සිසු සිසුවියන් දින 14ක කාලයක් රජයේ ආරක්ෂිත නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තැබීමට නියමිත බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ කටුනායක හා මත්තල ගුවන් තොටුපොළවල් ප්‍රධාන වරායන් හා ධීවර වරායන් ද මෙම රෝගයට මුහුණ දීම සඳහා දැඩි අධීක්ෂණයට ලක්කර ඇතැයි දේශයට වාර්තාවෙයි.
මේ වනවිට ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය බවට තහවුරු වූ එක් රෝගියකු පමණක් සිටින බවත් ඒ චීන කාන්තාවක් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඊට අමතරව සිකුරාදා දහවල් වනවිට සැකසහිත රෝගීන් 16 දෙනෙකු ප්‍රතිකාර ලබන බවත් ඉන් 8ක් ජාතික බෝවන රෝග විද්‍යායතනයේත් (දේශීය 4/ විදේශීය 4), රත්නපුර මහ රෝහලේ දෙදෙනෙකුත්, මහනුවර ජාතික රෝහලේ පස් දෙනෙකුත්, කරාපිටිය රෝහලේ එක් අයෙකුත් වශයෙන් ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සිය දෛනික වාර්තාව මගින් සිකුරාදා ප්‍රකාශ කළේය.