2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

අලුත් ජනපති දිව්රුම්දීම සඳුදා සවස

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 366

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිවරණයෙන් ජය ගන්නා අපේක්ෂකයා මෙරට 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ලබන 18 සඳුදා සවස දිව්රුම් දීමට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ද ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෝ මේ බව දේශයට අනාවරණය කළහ. ජනාධිපතිධූර අපේක්ෂකයන්ගේ විශේෂ ඉල්ලීමක් නොවුණොත් එම දිව්රුම්දීම ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ සිදු කිරීම සැලසුමයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගතහොත් පාර්ලිමේන්තු බහුතරයේ සහාය ලැබේ නම් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කරන බවය. මේ ගැන පොහොට්ටුවේ පක්ෂ අතර තවමත් පූර්ණ එකඟතාවක් නැත. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයගතහොත් අග්‍රාමාත්‍ය ධූරයට තමන්ට අභිමත කෙනකු තෝරාගන්නා බව කියා ඇතත් එය සිදුකරන අවස්ථාව ගැන ප්‍රකාශකර නැත.

අභිනව ජනාධිපතිවරයකු දිව්රුම් දුන් සැණින් කළ යුතු ප්‍රථම කාර්යය වන්නේ ජනාධිපති ලේකම්වරයකු පත්කිරීමයි. කැබිනට් මණ්ඩල වෙනස්කම් සිදුකළ යුත්තේ ඉන්පසුවය.