2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ගෝඨා - මෛත්‍රී හමුවෙති

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 42

 I දේශපාලන වාර්තාකරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ පෞද්ගලික හමුවක් පසුගියදා පැවැත්වීය.

ඉදිරි කාලයේ දෙපක්ෂය එක්ව මැතිවරණ සටන මෙහෙයවන ආකාරය ගැන තීරණාත්මක කරුණු ගණනාවක් ගැන මෙම හමුවේදී සාකච්ඡාවට භාජනය කර ඇත.

කොළඹ පෞද්ගලික නිවසක ඉතාමත් රහසිගතව පවත්වා ඇති මෙම හමුවෙන් පසු දෙපක්ෂය එක්ව ඉදිරියට ක්‍රියා කළ යුතු ආකාරය ගැන සැලසුමක් සැකසීමට ද තීන්දු වී ඇතැයි කියවේ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොහොට්ටුව අතර කෙරෙන සාකච්ඡාවලදී අවසන් තීරණ ගැනීම සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකුගෙන් යුත් නව සාකච්ඡා කණ්ඩායමක් පත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තීන්දු කළේය. ඒ අනුව දෙපක්ෂය අතර ඉදිරි තීරණාත්මක සාකච්ඡා මෙහෙයැවීමට පොහොට්ටුවෙන් බැසිල් රාජපක්ෂ - ගාමිණී ලොකුගේ හා සී. බී. රත්නායක යන මහත්වරුන්ගෙන් සමන්විත සාකච්ඡා කණ්ඩායමක් පත්කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මෙම පත්කිරීම කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ඉල්ලීමක් අනුවය.

මේ හැරෙන්නට ශ්‍රීලනිප සාකච්ඡා කණ්ඩායම ද පුළුල් කෙරෙනු ඇති අතර ඊට මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න වැනි චරිත ඇතුළත් වීමට ඉඩ ඇතැයි වාර්තා විය.

කෙසේ වෙතත් අද හෙට මෛත්‍රී මහින්ද හමුවක් සිදු නොවන අතර විසඳාගත නොහැකි තීරණාත්මක ප්‍රශ්නයක් උද්ගත වුවහොත් මහින්ද මෛත්‍රී හමුවක් පැවැත්වෙනු ඇතැයි මහින්ද රාජපක්ෂ මහතාට සමීප ආරංචි මාර්ග කියයි.