2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

ක්‍රෙඩිට් කාඩ් පොලිය නග්ගයි

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 640

I සංජීවිකා සමරතුංග

පසුගිය අප්‍රේල් මස 01දා සිට ඇතැම් වාණිජ බැංකු විසින් ක්‍රෙඩිට් කාඩ්පත් (ණය කාඩ්පත්) සඳහා අයකළ පොලිය 4%කින් පමණ ඉහළ දමා ඇත. එසේම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන ගෙවීම් නියමිත දිනයට කරගත නොහැකි වුවහොත් ඒ සඳහා අයකළ ප්‍රමාද ගාස්තුව ද වැඩිකර තිබේ.

ක්‍රෙඩිට් කාඩ්පත් වර්ගීකරණය කොට මෙම පොලී අනුපාතය නියම කර ඇත. මෙතෙක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අයකළ පොලී අනුපාතය 28%කි. එහෙත් අප්‍රේල් 01දා සිට අඩු ණය සීමාවක් සහිත ක්‍රෙඩිට් කාඩ්පත්වලින් අයකරන පොලිය 31.8%ක් ලෙස ඉහළ නංවා තිබේ. එහෙත් වැඩි ණය සීමාවක් ඇති විශේෂ වර්ගයේ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් අයකරන පොලිය ඉහළ නංවා ඇත්තේ 28%සිට 30%දක්වාය.

ක්‍රෙඩිට් කාඩ් බිල්පත් නියමිත දිනයට ගෙවීමට නොහැකි වන පාරිභෝගිකයන්ගෙන් අප්‍රේල් 01දාට පෙර අයකළේ රුපියල් 990/-ක ප්‍රමාද ගාස්තුවකි. දැන් එවන් අවස්ථාවකදී අයකරන ප්‍රමාද ගාස්තුව රුපියල් 1200/-ක් දක්වා ඉහළ නංවා තිබේ.

රජය බැංකු පොලී අනුපාත අඩුකරන ලෙස වාණිජ බැංකුවලට හා ශ්‍රී ලංකා මහ බැංකුවට නියම කර ඇතැයි පසුගියදා ප්‍රකාශ කෙරිණ. එහෙත් වාණිජ බැංකු සිය පොලී අනුපාතයන් මෙලෙස ඉහළ නංවා තිබේ.

දැනට මෙරට සමස්ත ක්‍රෙඩිට් කාඩ්පත් භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව දහහතර ලක්ෂ පනස් දහසක් (14,50,000) පමණය.